
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් අනුදැනුමකින් තොරව මධ්‍යම කාරක සභාව රැස්කිරීම අත්හිටුවමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අද (15) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව පැවති මධ්‍යම කාරක සභාව රැස්කිරීම කොළඹ දිසා අධිකරණය විසින් අත්හිටුවා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව අද රාත්‍රීයේ රැස්වන බවට පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පෙරවරුවේ නිවේදනයක් නිකුත් කර තිබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් අනතුරුව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්,ඩිලාන් පෙරේරා වැනි අය වහාම ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්කොට මෙම ප්‍රකාශය පිළිබඳ සාකච්ඡා කළ යුතුව ඇති බව කියා සිටියහ.
කෙසේ වෙතත් පක්ෂයේ නායකත්වය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම මධ්‍යම කාරක සභාව රැස්නොකළ යුතු බවට ලිඛිතව පක්ෂ මහලේකම්ට දන්වා ඇති අතර එකී උපදෙස් නොතකා පක්ෂ ලේකම් විසින් කාරක සභාව රැස්විය යුතු බවට නිවේදනය කර තිබිණි.
ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂ ලේකම්ට යොමු කරන ලද ලිපියේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙවර මැතිවරණයට සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රීක්කය සඳහා තරඟවදින කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කර ඇතැයි අප වාර්තාකරු කියා සිටියි.
පෙත්සම්කාර ප්‍රසන්න සෝලංගආරච්චි මහතා අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්ථාව අනුව එහි මධ්‍යම කාරක සභාව රැස් කළ හැක්කේ එහි සභාපතිත්වය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බවයි.
ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් මධ්‍යම කාරක සභාව රැස්කිරීම නීති විරෝධී බැවින් එසේ රැස්කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරුවරයා විසින් ලබන 29 වන දින තෙක් අදාළ වාරණ නියෝගය නිකුත් කළ බව අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.
















































