
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් අනුරාධපුර සත්‍යග්‍රහය සිදුකරමින් සිටි ස්ථානයේ අද (11) පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව භික්ෂූන් වහන්සේ පිරිසක් රුවන්වැලි සෑය අභියස දන්සල් භූමියේ පසුගිය 7 වැනිදා සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.
ඒ, අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණ නියෝගයක් ද ලබාදී තිබූ පසුබිමකය.
මේ අතර කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට අද වැඩම කර ප්‍රකාශයක් ලබාදෙන ලෙසටද පූජ්‍ය කස්සප හිමිට දැනුම්දී තිබුණි.
කෙසේවෙතත් එවන් පසුබිමක පූජ්‍ය කස්සප හිමි ඇතුළු තුන්නමක් මෙලෙස මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.
මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීම ගැන අදහස් පළ කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි,
"කාරණා දෙකක් මත පදනම්ව අද අපි භික්ෂූන් වහන්සේලා තුන්නම මාරාන්ති උපවාසයක් කරා ගමන් කරනවා."
"මේ මොහොතේ සිට අපි වතුර බිඳක්වත් පානය කරන්නේ නැහැ. මෙතනට එන අය අපිට වතුර බෝතලයක්වත් පූජා කරන්න එපා.. අපි සම්පූර්ණයෙන් ආහාරවලින්, ගිලන්පසවලින් වළකිනවා කොන්දේසි 2ක් මත."
"පළවෙනි කොන්දේසිය තමයි මහානායක හාමුදුරුවෝ පොරොන්දුවූ පරිදි ඥානසාර හාමුදුරුවෝ කොන්දේසි විරහිතව නිදහස් කරන්න මැදිහත් වෙන්න ඕනේ."
"දෙවෙනි කොන්දේසිය තමයි මේ අනුරාධපුර පුණ්‍ය භූමිය ඉන්දියානුකරණය කරන ගැසට් පත්‍රය හකුල ගන්න ඕනේ."
"ඒ කොන්දේසි දෙක ඉෂ්ට වෙන තෙක් අපි වතුර බිඳක්වත් පාවිච්චි කරන්නේ නැහැ. නිවටයෙකු විදියට ජීවත්වෙනවාට වඩා ශ්‍රේෂ්ඨයෙකු ලෙස සම්බුද්ධ ශාසනයට ජීවිතය පූජාකරන එක අපිට වටිනවා."
















































