
වාරියපොළ, අවුලේගම කරදවැටිය ප්රදේශයේදී විදුලි සැර වැදී අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (10) උදෑසන සිදුවූ අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60 හැවිරිදි ඊ.එම්. කරුණාවති සහ ඇගේ සැමියා වන 57 හැවිරිදි එස්.එම්. දේවසිරි යන දරුවන් සිව්දෙනෙකුගෙන් යුතු මවක් සහ පියෙකි.
මෙම ප්රදේශයේ ඊයේ(09) රාත්රී 9ට පමණ ගසක් කඩා වැටී ඇති අතර එහිදී විදුලි රැහැන් කැඩී ගොස් තිබේ.
පසුව විදුලිබල මණ්ඩලයේ සේවකයන් පැමිණ කැඩී ගිය විදුලි රැහැන් පද්ධතිය විසන්ධි කර ගොස් තිබුණි.
නමුත්, මීට වසර ගණනාවකට පෙර කැඩී ගොස් තිබූ විදුලි ලාම්පුවක් සහිත කණුවක අර්ත් වයරයක් අසල්වැසි කම්බියක් සමඟ සම්බන්ධ වී තිබී ඇති අතර, එය ගස් කඳ මත ඔතා තිබී ඇත.
එහිදී අද (10) උදෑසන 6ට පමණ මාර්ගයේ ඇති විදුලි ලාම්පුව නිමා දැමීමටයාමේදී, මියගිය කාන්තාවට මෙම විදුලි සැර වැදී ඇත.
පසුව ඇයගේ කෑගැසීම අසා ඇයව බේරා ගැනීමට ගිය ඇගේ ස්වාමිපුරුෂයාටද මෙලෙස විදුලි සැර වැදී ඇත.
මෙම අවස්ථාවේදී මව්පියන්ගේ කෑගැසීමේ ශබ්දය ඇසී දියණියක්ද එම ස්ථානයට දිවගොස් ඇති අතර, ඔවුන් බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඇයටද විදුලි සැර වැදී ඇය ඉවතට විසිවී ගොස් ඇත.
කෙසේ වෙතත්, ඇයට කිසිදු ජීවිත හානියක් හෝ බරපතළ තුවාල සිදුවී නොමැත.
















































