
එළැඹෙන 12 වැනි දින ජනාධිපතිවරයා ඉදිරිපත් කිරීමට නියමිත 2027 අයවැය සම්බන්ධව අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වීමක් සිදු කළේය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන වසර තුන තුළදී රජයේ අපේක්ෂාව වනුයේ ආර්ථිකයේ ඉහළ වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා බවය.
ඒ අනුව මෙවර අයවැය තුළින් ඒ සඳහා රුපියල් බිලියන 2,000ක මුදලක් ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම සඳහා වූ යෝජනා මෙවර අයවැය තුළින් ඉදිරිපත් වනු ඇති බව පැවසු අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මින් පෙර ජනාධිපතිවරයා සඳහන් කළ පරිදි ඇතැම් පාර්ශ්වයන් සඳහා බදු සහනද හිමිවනු ඇති බවය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"ඊළඟ වසර තුනේ අපේ අපේක්ෂාව බවට පත්වෙන්නේ ආර්ථිකයේ ඉහළ වර්ධනයක් අත්පත් කරගන්න එක. ඒක යම් පරිවර්ථනීය වෙනසක් සිදුකරමින් තමයි කරන්න වෙන්නේ. ඒකට අදාළ කරන යෝජනා ඉදිරිපත් වේවී. ජනාධිපතිතුමාත් දැන් කියලා තියෙන හැටියට සමහර ක්ෂේත්‍රවල බදු සහන ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් ආර්ථිකය ස්ථාවරයි කියපු පමණින් සියලු බදු අතහරින්න බෑ. සමහර බදු වෙනස් කිරීමේදි ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ ලෝකේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක. යම් සහන ලැබේවී යම් බදුවල ඒ වගේම ඊට අමතරව ජනවාරි මාසයේත් රාජ්‍ය සේවකයින්ට වැටුප් වර්ධකයක් ලැබෙනවා. 2025 අප්‍රේල් මාසෙදි, 2026 ජනවාරි මාසෙදි සහ 2027 ජනවාරි මාසයේදි මූලික වැටුප්වල වැඩිවීමක් හිමිවෙනවා. ඊළඟට සමහර ක්ෂේත්‍රවලට දීමනාවන් වැඩිවීමක් වෙනවා. ඒ සියල්ලමත් එකතු කරලා තමයි අයවැය හදලා තියෙන්නේ. අපි කලින් කිව්වා වගේම රුපියල් බිලියන 2,000ක සංවර්ධන ප්‍රතිපාදන මුදලක් මේ අයවැයෙන් වෙන් කරනවා. ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කරගන්න. මේ ගතවෙමින් පවතින අවුරුද්දෙදි රුපියල් බිලියන 98ක් යෙදෙව්වා අපි ඉන්ධන සඳහා සහන ලබා දීමට පමණක්ම. බිලියන 500ක් වෙන් කරලා තිබුණා දිට්වා සඳහා සහන ලබා දීමට. ඒ තත්ත්වයන් තුළත් ආර්ථිකය ස්ථාවරව අපි අරගෙන ආවා. දැන් තිබෙන්නේ ආර්ථිකය වර්ධනය කර ගැනීම සඳහා සමහර ක්ෂේත්‍රවලට යම් දීමනා ලබා දීම, රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම, සමහර ක්ෂේත්‍රවල පරිවර්ථනීය සංවර්ධනයක් සඳහා වෙච්ච සමහර ව්‍යාපෘතිවලට ප්‍රතිපාදන වෙන් කිරීම."
















































