
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් කොළඹට නුදුරින් පිහිටි අක්කර 27ක භූමි ප්‍රමාණයක් ලබාගෙන, සිනමා, කලා හා සංස්කෘතික කටයුතු මෙන්ම භාවනා සහ බෞද්ධ දර්ශනය හැදෑරීමේ ආයතන සඳහා "කලා සංස්කෘතික ගම්මානයක්" ස්ථාපිත කිරීම වෙනුවෙන් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති, අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
එමෙන්ම, පුරාවිද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීමේදී කැණීම්වලින් තොරව GPR (Ground Penetrating Radar) ඇතුළු නවීන තාක්ෂණය භාවිත කරමින් පොළොව යට පවතින පුරාවස්තු හඳුනාගැනීමේ නවීන ප්‍රවේශයක් අනුගමනය කරන බව කාරක සභා සභාපතිවරයා ඇතුළු නිලධාරීහු මෙහිදී පැහැදිලි කළහ.
දහම් පාසල් අවසාන විභාගය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය එකම කාලසීමාවක් තුළ පැවැත්වීම හේතුවෙන් සිසුන්ට සහ දෙමාපියන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඒකාබද්ධ විභාග දින දර්ශනයක් සකස් කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, පළාත් හා කලාප මට්ටමින් විභාග දින සම්බන්ධයෙන් ගැටලු ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමට ද අවධානය යොමුව තිබේ.
හානියට පත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය සංරක්ෂණය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇත.
එම ස්ථානය සම්බන්ධයෙන් පවතින හිමිකාරිත්වය හා පරිපාලන ගැටලු නිරාකරණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, කුරුණෑගල නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ඒකාබද්ධ සාකච්ඡාවක් පවත්වා කඩිනමින් අවසන් විසඳුමකට එළඹීමට මෙහිදී තීරණය කෙරිණි.
එමෙන්ම රාමසාන් සමයේදී විදේශ රටවලින් පරිත්‍යාග ලෙස ලැබෙන රටඉඳි දිවයින පුරා පිහිටි මුස්ලිම් පල්ලි 2,700ක් අතර සාධාරණව හා විනිවිදභාවයෙන් යුතුව බෙදාහැරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
ඒ සඳහා විධිමත් ලේඛනගත කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී සාකච්ඡා විය.
මීට අමතරව, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලද තවත් කරුණු කිහිපයක් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.















































