
ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) කටයුතු සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව සහාය ලබා දෙන බවත්, කලාපීය සහයෝගීතාව ශක්තිමත් කරමින් එහි වැඩසටහන්වල අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීමට කටයුතු කරන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද (27) පැවැති ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.
එමෙන්ම 2023 සිට 2025 දක්වා ශ්‍රී ලංකාව සංගමයේ සභාපතිත්වය දැරූ කාලසීමාව සිහිපත් කළ අමාත්‍යවරයා, එම කාලය තුළ අත්කරගත් ප්‍රධාන ජයග්‍රහණ පිළිබඳව ද කරුණු ඉදිරිපත් කළේය.
ඒ අතර යුරෝපා සංගමය IORA හි 12 වැනි සංවාද හවුල්කරු (Dialogue Partner) ලෙස පිළිගැනීම, BIMSTEC වැනි කලාපීය සංවිධාන සමඟ සබඳතා ශක්තිමත් කිරීම, හයවැනි IORA නිල් කාබන් කේන්ද්‍රයේ (Blue Carbon Hub) චින්තන මණ්ඩපය පැවැත්වීම සහ 2025 මැයි මාසයේදී සියලුම සාමාජික රටවල එකඟතාවයෙන් කොළඹ ප්‍රකාශනය (Colombo Communiqué) සම්මත කර ගැනීම ඒ අතර වේ.
ශ්‍රී ලංකාවේ සභාපතිත්ව කාලසීමාවෙන් උගත හැකි ප්‍රධාන පාඩම් තුනක් පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා, හවුල්කාරිත්වයේ වැදගත්කම, ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දෙන සහයෝගීතාව සහ ඉන්දීය සාගර කලාපය මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා අඛණ්ඩ සාමූහික ප්‍රයත්නයන්හි අවශ්‍යතාව අවධාරණය කළේය.
දේශගුණික විපර්යාස, සාගර දූෂණය සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි අභියෝග සඳහා එක් එක් රටක සභාපතිත්ව කාලසීමාවෙන් ඔබ්බට ගිය අඛණ්ඩ සාමූහික ක්‍රියාමාර්ග අවශ්‍ය බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ සඳහා IORA ත්‍රිත්ව සභාපති ක්‍රමවේදයේ (IORA Troika) වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
2027 මාර්තු මාසයේදී IORA සංවිධානයේ 30 වැනි සංවත්සරය සැමරීමට නියමිතව ඇති පසුබිමක අදහස් දැක්වූ අමාත්‍යවරයා, “එම දශක තුනට ගෞරව දැක්විය හැකි හොඳම ක්‍රමය වන්නේ අපේ ජනතාවට දැකගත හැකි ප්‍රතිඵල අත්කර දීමයි” යනුවෙන් ප්‍රකාශ කළේය.
එමෙන්ම, ඉදිරියේදී සම්මත කිරීමට නියමිත දිල්ලි ප්‍රකාශනය (Delhi Communiqué) මඟින් කොළඹ ප්‍රකාශනයේ ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් කරමින්, දැනටමත් එකඟ වී ඇති ප්‍රතිඥාවන් ඉදිරියට ගෙන යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
IORA ත්‍රිත්ව සභාපති ක්‍රමවේදයේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාවේ කැපවීම යළිත් තහවුරු කළ අමාත්‍ය විජිත හේරත් මහතා, “ඔබට අපගේ සහාය පිළිබඳව විශ්වාසය තැබිය හැකිය” යනුවෙන් ද ප්‍රකාශ කළේය.











































