
ශ්‍රී ලංකාවේ කර්මාන්ත කලාප වඩාත් පරිසර හිතකාමී, සම්පත් කාර්යක්ෂම සහ තරගකාරී කලාප බවට පත්කිරීම සඳහා යුරෝපා සංගමයේ සහාය යටතේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ යටතේ මෙරට කර්මාන්ත කලාප පරිසර කාර්මික උද්‍යාන (Eco-Industrial Parks) බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය සහ ආයතනික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැඩමුළුවක් පසුගිය නොවැම්බර් 20 සහ 21 යන දිනවල පානදුරදී පැවැත්වුණි.
යුරෝපා සංගමයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන හරිත ප්‍රතිසාධන පහසුකම (Green Recovery Facility) යටතේ මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණේ Expertise France ආයතනය, ශ්‍රී ලංකා ජාතික පිරිසිදු නිෂ්පාදන මධ්‍යස්ථානය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්වය.
මෙරට කර්මාන්ත කලාප 75ක පමණ නිෂ්පාදන ව්‍යාපාර 1,200කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර, එමඟින් රැකියා 126,000කට අධික සංඛ්‍යාවක් සපයා තිබේ.
මෙම කර්මාන්ත කලාපවල පරිසර හිතකාමී බව සහ සම්පත් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් මෙරට කාර්මික සංවර්ධනය වඩාත් තිරසර මාවතකට යොමු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වී තිබේ.
මෙහිදී පරිසර කාර්මික උද්‍යාන සංවර්ධනයට අදාළ ජාතික මාර්ගෝපදේශ මාලාවක් ද ඉදිරිපත් කර තිබේ. මූලික තක්සේරු කිරීම්, තාක්ෂණික විශ්ලේෂණ සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීම් මත සකස් කර ඇති එම මාර්ගෝපදේශ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ජාත්‍යන්තර රාමුවට අනුකූලව සකස් කර ඇත.
එම මාර්ගෝපදේශ මාලාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම තුළින් කර්මාන්ත සංවර්ධනයට තිරසරභාවය ඒකාබද්ධ කිරීමට රජය කැපවී සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර තිබේ.
මීට අමතරව, කර්මාන්ත කලාපවල තිරසර ක්‍රියාකාරීත්වය ඇගයීම සඳහා ජාතික ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් ද හඳුන්වාදී ඇත. එහිදී මූලික අනුකූලතාව, උසස් භාවිතයන් සහ ඉහළම මට්ටමේ නායකත්වය යන කාර්යසාධන මට්ටම් තුනක් යටතේ කර්මාන්ත කලාප ඇගයීමට නියමිතය.
එසේම, ජාතික ආයතන අටක් යටතේ පාලනය වන ප්‍රමුඛ කර්මාන්ත කලාප 16ක් පරිවර්තනය කිරීම සඳහා ද සැලසුම් සකස් කර තිබේ.
ඒ අතර ආයෝජන මණ්ඩලය යටතේ පාලනය වන බියගම, කටුනායක, සීතාවක සහ කොග්ගල කර්මාන්ත කලාප මෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන ඒකල, කළුතර, දංකොටුව සහ ත්‍රිකුණාමලය කර්මාන්ත කලාප ද ඇතුළත්ය.
මෙම කර්මාන්ත කලාපවල අපජල පිරිපහදු පහසුකම්, පුනර්ජනනීය බලශක්ති විසඳුම් සහ ඩිජිටල් සම්පත් අධීක්ෂණ පද්ධති වැනි පොදු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා හරිත මූල්‍ය පහසුකම්, සහනදායී අරමුදල් සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් යොදාගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
එමෙන්ම, මෙරට රාජ්‍ය ආයතන සහ කර්මාන්ත කලාප පාලක ආයතන නියෝජනය කරන 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යුරෝපයේ පරිසර කාර්මික උද්‍යාන සංවර්ධනය හා කළමනාකරණය පිළිබඳ අත්දැකීම් ලබාගැනීම සඳහා අධ්‍යයන චාරිකාවකට එක් කිරීමට ද නියමිතය.
මෙම වැඩපිළිවෙළ මඟින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයතනික සම්බන්ධීකරණය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඉහළ නැංවීමටත්, තිරසර කාර්මික සංවර්ධනය සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීමටත් අපේක්ෂා කෙරේ.










































