
යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ අභිනවයෙන් ඉදිකළ ඉන්ධන පිරවුම්හල වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු මේ වන විට සාර්ථකව සිදු කර තිබේ.
ඒ, ඉන්ධන බවුසර් රථ දෙකකින් රැගෙන ආ ඉන්ධන තොගය, යාපනය කන්කසන්තුරේ ජැටියේ සිට මුහුදු මාර්ගයෙන් නාවිකා හමුදාවට අයත් නෞකාවක් මගින් ඉතා ආරක්ෂිතව එම දූපතට ප්‍රවාහනය කරමිනි.
ඩෙල්ෆ්ට් දූපත තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ඉන්ධන පිරවුම් හල ස්ථාපිත කෙරුණු අතර, ඩෙල්ෆ්ට් දූපතේ ප්‍රවාහන සේවා කාර්යක්ෂමව සිදුකිරීම මෙමඟින් අපේක්ෂා කර ඇත.
තවද, අභිනවයෙන් ස්ථාපිත කරන ලද ඉන්ධන පිරවුම්හල වෙත අවශ්‍ය ඉන්ධන රැගත් බවුසර් රථ කන්කසන්තුරය වරායේ සිට ඩෙල්ෆ්ට් දූපත වෙත ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම උතුරු නාවික විධානයට අනියුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණගජ නෞකාව විසින්ය.
මෙම පිරවුම්හල හරහා ඩෙල්ෆ්ට් දූපත් වැසියන් සඳහා ඉන්ධන බෙදාහැරීම විධිමත් හා පහසු කිරීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කර ඇති බව ධීවර ,ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය 2025 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති කුරිකට්ටුවාන් ජැටිය සංවර්ධනය කිරීමේ අවස්ථාවේදී ඩෙල්ෆ්ට් දූපතේ ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට අදාළ ගිවිසුමට අත්සන් තබන ලදී.
අනතුරුව, 2026 වසරේ ජූලි මාසයේදී ඒ සඳහා මුල්ගල් තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.










































