
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් හලාවත වැල්ල වෙරළ තීරයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් 450කට ආසන්න තොගයක් සොයාගෙන ඇත.
ඊයේ(23) අලුයම් කාලයේදී හලාවත වෙරළාරක්ෂක ස්ථානයේ නාවිකයින් වෙත ලද තොරතුරකට අනුව, අලුයම 05ට පමණ හලාවත අනුඛණ්ඩයට අයත් රාත්රී මුර සංචාරයේ යෙදී සිටි CG 105 මුර යාත්රාවේ නාවිකයින් සහ තොඩුවාව නාවික හමුදා ගවේෂණාත්මක කාර්යසාධක බලකායේ නාවිකයින් එක්ව මෙම මෙහෙයුම සිදුකර ඇත.
එහිදී වෙරළ තීරයේ අතහැර දමා ගොස් තිබූ බීඩි කොළ අඩංගු උර 15ක් සොයාගෙන ඇති අතර, එක් උරයක බර කිලෝග්රෑම් 30ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇත.
වෙරළාරක්ෂක නිලධාරීන් එම ස්ථානයට ළඟාවීමත් සමඟ මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අදාළ බීඩි කොළ තොගය අතහැර පලායන්නට ඇති බවට සැක කෙරේ.
සොයාගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා හලාවත සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.










































