
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) ඉදිරියට ගෙන යාම හරහා දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවට වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.
තායිලන්ත රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසාක් ෆුවාන්ග්කෙට්කියෝ (Sihasak Phuangketkeow) මහතා ඇතුළු දූත පිරිස ඊයේ ( 23) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූහ.
දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ කලාපීය සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම හමුවේදී ප්‍රධාන කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධය අංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දින 30ක් සඳහා වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට අවස්ථාව සලසමින් පසුගිය නොවැම්බර් 22 වැනිදා අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම මගින් දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි දෙපාර්ශ්වයම අපේක්ෂා පළ කළහ.
2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 'එක්ස්පෝ ශ්‍රී ලංකා' (Expo Sri Lanka) ප්‍රදර්ශනයට සහභාගී වී මෙරට ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස අග්‍රාමාත්‍යවරිය තායිලන්ත ආයෝජකයන්ට ආරාධනා කළාය.
ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික වරාය හා සමුද්‍රීය පිහිටීම උපයෝගී කරගනිමින් සමුද්‍රීය සහයෝගීතාව වර්ධනය කිරීම, සංචාරක පැමිණීම් ප්‍රවර්ධනය කිරීම මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්රයේ ආහාර සැකසීම සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානය හරහා කලාපීය සබඳතා ශක්තිමත් කිරීම සහ දෙරට අතර ශ්‍රම සහයෝගීතාව පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු විය. එමෙන්ම, 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදුන් ආධාර වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය තායිලන්ත රජයට සිය කෘතඥතාව පළ කළාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝන් (Paitoon Mahapannaporn) මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.










































