
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා ඇතුළු නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමු වී තිබේ.
එහිදී 2028–2032 කාලසීමාව සඳහා ශ්‍රී ලංකාවට යෝජිත 'එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව' සම්බන්ධව සාකච්ඡා කර ඇති බව සඳහන්.
මෙහිදී, යෝජිත සහයෝගීතා රාමුව සකස් කිරීම සඳහා දැනටමත් සැලසුම් කර ඇති ඒකාබද්ධ වැඩපිළිවෙළ පිළිබඳව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කළේය.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතනික සහ විද්වත් ප්‍රජාව මෙන්ම සිවිල් සමාජය ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් සහයෝගීතා රාමුවට ඇතුළත් කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර සහ ඉලක්ක හඳුනාගැනීමේ ක්‍රියාවලියේ දී අග්‍රාමාත්‍යතුමිය සමඟ මෙලෙස සාකච්ඡා කිරීමට ලැබීම විශේෂ අවස්ථාවක් බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන සංවර්ධන අභියෝග සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා සහයෝගය ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යතුමිය සහ නියෝජිත පිරිස අතර පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි.
සංවර්ධන සහයෝගීතාව සඳහා පුළුල් ඉලක්කගත ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, යෝජිත වැඩසටහන් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ඉලක්කයන්ට අනුකූල වීම මෙන්ම එම වැඩසටහන් හරහා රටේ සංවර්ධන අවශ්‍යතා සහ අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය.
ඉලක්කගත හා ඵලදායී සහයෝගීතා වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දිය හැකි සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී අවධානය යොමු ව ඇත.
සංවර්ධන ව්‍යාපෘති බිම් මට්ටමේ සිට ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේදී බලපාන ප්‍රධාන අභියෝග ලෙස දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි සහ අවශ්‍ය තාක්ෂණික විශේෂඥතාව මෙන්ම මානව සම්පත් හිඟකම හදුනාගත හැකි බව ද මෙහිදී අග්‍රාමාත්‍යතුමිය පැවසීය.
සංවර්ධන වැඩසටහන් ඵලදායී ලෙස සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සහතික කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද එතුමිය අවධාරණය කළාය.
එමෙන්ම ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අදාළ තනතුරුවලට නිසි කුසලතා සහ විශේෂඥතාව ඇති පුද්ගලයන් පත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දෙන ලදී.
සංවර්ධන සැලසුම්කරණය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා සිවිල් සමාජ සංවිධාන සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු අතර එමඟින් සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වය ඇතුළත්, අන්තර්ග්‍රාහී සහ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වන සංවර්ධන ප්‍රතිඵල අත්කර ගැනීම හැකි බව මෙම හමුවේදී අවධානය යොමු ව තිබේ.

















































