
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව, පෙර පැවති සියයට 8.75ක අනුපාතය සියයට 9ක් දක්වා ඉහළ නංවා ඇත.
ඊයේ (19) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි දැක්ම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව මහ බැංකුව සඳහන් කර තිබේ.
මැදපෙරදිග පවතින ගැටුම් අපේක්ෂා කළ කාලයට වඩා දිගු වීමත් සමඟ ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම සහ ආහාර මිල ගණන් ඉහළ යාම මෙරට උද්ධමන පීඩනය තවදුරටත් ඉහළ නංවා ඇති බව එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, 2026 ඔක්තෝබර් මාසයේදී මෙරට උද්ධමනය වාර්ෂික පදනම මත සියයට 8.3ක් දක්වා ඉහළ ගොස් තිබේ. බලශක්ති හා ආහාර මිල ඉහළ යාමේ බලපෑම හේතුවෙන් මූලික උද්ධමනය ද ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
මෑතකදී ගෝලීය බලශක්ති මිල ගණන් යම් මට්ටමකින් පහළ ගොස් ඇතත්, මීට පෙර සිදුවූ මිල ඉහළ යාම්වල දෙවන වටයේ බලපෑම් හේතුවෙන් ඉදිරි කාලයේදී ද මිල පීඩනයක් ඇතිවිය හැකි බව මහ බැංකුව සඳහන් කරයි.
නවතම පුරෝකථනවලට අනුව, උද්ධමනය ඉදිරි කාලයේදී අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ අගයක සහ දිගු කාලයක් පැවතිය හැකි අතර, 2027 වසරේ දෙවන භාගයේදී සියයට 5ක ඉලක්කගත මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, 2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් වෙළෙඳපොළ පොලී අනුපාත සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බව ද මහ බැංකුව පවසයි.















































