
ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අධිචෝදනා පත්‍ර භාරදීම කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද (19) සිදුකෙරුණි.
අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු සැකකාර නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීමේ නියෝගයක් නිකුත් නොකරන ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළද, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒ මහතා දෙසැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකළ විමර්ශනය අවසානයේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරනු ලැබීය.
අදාළ ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත් සමස්ත මුදලින් රුපියල් මිලියන 100ක් ලබාගත්තේ යැයි චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පළමු විත්තිකරු ලෙස නම්කර ඇති අතර දෙවන විත්තිකරු ලෙස ශමින්ද්‍ර රාජපක්ෂද, තෙවන විත්තිකරු ලෙස බිස් සොලියුෂන් සමාගම සහ සිව්වන විත්තිකරු ලෙස ප්‍රියංකා නියෝමාලි ද නම්කර තිබුණි.
ඒ අනුව එම නීති කෘත්‍යය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වන සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, තිලකරත්න බණ්ඩාර සහ ධම්මික දිසානායක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය.
නාමල් රාජපක්ෂ මහතාගේ බිරිද ලිමිණි රාජපක්ෂ මහත්මියද අධිකරණය වෙත පැමිණ සිටියාය.
එහිදී දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර සෙසු සැකකරුවන් වන ශමින්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලි අධිකරණයේ පෙනී සිටියේ නැත.
ඒ පිළිබඳ අධිකරණයේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කියා සිටියේ එම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම සඳහා ඉදිරියේදී අවශ්‍ය නෛතික පියවර ගනු ලබන බවයි.
ඒ අනුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙනී සිටි සැකකාර නාමල් රාජපක්ෂට අධිචෝදනා පත්‍ර සහ ඊට අදාළ ඇමිණුම් භාරදීම සිදුවුණි.
පසුව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය සේවාදායකයාගේ පෞද්ගලික නිදහස සීමා කිරීමේ නියෝගයක් නිකුත් නොකරන ලෙස ඉල්ලීමක් කළේය.
"ස්වාමිනි පළමුව මේ අධිචෝදනා පත්‍රය බැලූ බැල්මට මේ අධිකරණයට මේ නඩුව ගෙනයාමට බලයක් නැති බව පෙනී යනවා. ඒ පිළිබඳ මම ඉදිරියේදී කරුණු දැක්වීමට සූදානම්. ඊට අගති රහිතව මා මේ අවස්ථාවේ කියා සිටින්නේ මගේ සේවාදායකයාගේ පෞද්ගලික නිදහස සීමාවන ආකාරයේ නියෝගයක් අද දින ඔබගේ අධිකරණයෙන් සිදුකරන්න එපා කියලා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මගේ සේවාදායකයාව බන්ධනාගාර නිලධාරින් භාරයේ ඔබගේ අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා නිකුත් කරපු නියෝගයෙන් පස්සේ මේ නඩුව සම්බන්ධයෙන් එම අධිකරණයේ බලය අවසන් වුණා. පසුව ඔබගේ අධිකරණයෙන් ඔහුව අද දිනයේ බන්ධනාගාර භාරයේ අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා නියෝගයක් නිකුත් කළා. ඒ අනුව මේ වෙද්දි ඔහු සම්බන්ධයෙන් බලපැවැත්වෙන නියෝගයක් නැහැ. ඒ නිසයි මා ඉල්ලා සිටින්නේ අද දින ඔබේ අධිකරණයෙන් ඔහුගේ පෞද්ගලික නිදහස අහිමි කිරීමේ නියෝගයක් නිකුත් නොකරන ලෙස."
අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දැක්වුවේය.
"ස්වාමිනි, විත්තියේ ජනාධිපති නීතිඥ තුමා කී ආකාරයට අද දින මේ විත්තිකරු සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකර ඉන්න අපරාධ නඩු විධාන සංග්‍රහයේ 195 වගන්තිය ප්‍රකාරව ඔබට බැහැ. එක්කෝ බැදුම්කරයක් හෝ ඇපයක් මත ඔහු මුදාහැරිය යුතුයි නැතිනම් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතුයි. විශේෂ ලිඛිත නීතියක් යටතේ විත්තිකරුවෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇති අවස්ථාවක ඇප පනත අදාළ වන්නේ නැහැ. මේ විත්තිකරු ඉදිරිපත්කර තිබෙන්නේ 2003 අංක 09 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව. එහි 149 වගන්තියට අනුව තුටු පඬුරු ඉල්ලීමක් හෝ භාරගැනීමක් තහවුරු කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණයට සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමයි මේ වෙද්දි පවත්නා නෛතික තත්ත්වය. ඉන් ව්‍යුත්පන්නව ඇප සලකා බැලීමටනම් සුවිශේෂි කරුණු ඉදිරිපත් වියයුතුයි. නමුත් අද දිනයේ ඔබගේ අධිකරණය ඉදිරියේ කිසිඳු සුවිශේෂි කරුණක් විත්තිය ඉදිරිපත් කළේ නැහැ. එබැවින් ස්වාමිනි ඔබේ අධිකරණයට විකල්ප නැහැ. විත්තිකරු නඩු විභාගය අවසන්වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීම තමයි ඔබ ඉදිරියේ ඇති තෝරාගැනීම. ඔබේ අධිකරණය අද දිනයේ විත්තිකරු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරනවානම් අපි පැමිණිල්ල ලෙස සුදානම් අධිකරණය විසින් ලබාදෙන ඕනෑම කාල රාමුවක් යටතේ දිනපතා මේ නඩුව අහන්න සහය ලබාදෙන්න."
ඒ අනුව පැමිණිල්ල සහ විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විනාඩි 30ක පමණ කාලයකට නීති කෘත්‍යය කල් තබනු ලැබූ අතර පසුව යළි නීති කෘත්‍යය කැඳවමින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වෙනුවෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියෝගය ප්‍රකාශයට පත්කළේය.
"අපරාධ නඩු විධාන සංග්‍රහයේ 195 වගන්තිය ප්‍රකාරව අද දින මෙම විත්තිකරු සම්බන්ධයෙන් මෙම අධිකරණය නියෝගයක් නිකුත් කළ යුතුයි. විත්තියේ උගත් ජනාධිපති නීතිඥතුමා පැවසූ පරිදි නියෝගයක් නිකුත් නොකර සිටීමේ හැකියාවක් නැහැ. ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමේදී මෙම අවස්ථාවේ බලපවත්නා නෛතික තත්ත්වය වන්නේ 2003 දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාර ප්‍රතිපාදනයි. විත්තිකරුගේ පෞද්ගලික නිදහස සීමා නොවන ආකාරයෙන් ඇපමත මුදාහැරීමක් සිදුකරන්න නම් එම පනතේ 149 (2) අතුරු විධානය ප්‍රකාරව විශේෂ අවස්ථානුගත කරුණු ඉදිරිපත් වියයුතුයි. නමුත් විත්තිකරුගේ පෞද්ගලික නිදහස සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරනවා හැර ඇප ඉල්ලීමක් සම්බන්ධයෙන් සුවිශේෂි කරුණු ඉදිරිපත් වීමක් වුණේ නැහැ. ඒ අනුව චූදිත සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා."
ඒ අනුව මෙම නඩු විභාගය යළි දෙසැම්බර් 02 වනදා කැඳවීමට නියෝග කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එදින දක්වා විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.














































