
රට තුළ පවතින තාර හිඟය මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මැද පෙරදිග පවතින යුද ගැටුම් සහ හෝමූස් සමුද්‍ර සන්දිය ආශ්රිත පවතින අවහිරතා හේතුවෙන් ඉරානයෙන් මෙරටට තාර ආනයනය කිරීම් පසුගිය මාර්තු මස සිට අඩාල වී තිබුණි.
ඒ අනුව පවතින තාර හිඟය මඟහරවා ගැනීම සඳහා විකල්ප රටවලින් තාර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පැවසුවේය.
“ඉරාන සහ හෝමූස් සම්බාධක නිසා තාර ආනයනය මාර්තු සිට අඩාල වී තියෙනවා. මේ ප්රශ්නය අපි විසඳෙයි කියලා අපි රටක් ආයතනයක් විදියට බලන් හිටියා. නමුත් මේක දික්ගැස්සෙන ප්‍රශ්නයක් සහ ප්‍රාදේශීය සභා මාර්ගයක සිට අධිවේගී මාර්ගයක් දක්වා සියලු සංවර්ධන කටයුතු අඩාල වෙලා තියෙනවා මෙම තාර ප්රශ්නය නිසා. ඒ නිසා ආයතනයක් ලෙස මෙම ප්‍රශ්නයට මුහුණදෙන්න මේ වෙනවිට යම් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. අපේ දේශගුණයට සුදුසු තාර වෙන වෙන රටවලින් සාම්පල ගෙන්නලා ගැලපෙන ඒවා ආනයනය කිරීම අපි ආරම්භ කරලා තියෙනවා. මාස 8ක් පමණ අඩාල වෙලා තිබුණ සංවර්ධන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන්න අපිට පුළුවන් වෙයි කියලා හිතනවා.”
මේ අතර දිට්වා ව්‍යසනයෙන් හානියට පත් මෙරට ඒ හා බී ශ්‍රේණියේ මාර්ග 490ක් පමණ තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීමට පවතින බව මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේ, අදාළ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සදහා අවශ්‍ය මුලික පියවර මේ වන විටත් ගෙන ඇති බවය.
දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් දිවයිනේ මහා මාර්ග, දුම්රිය මාර්ග හා පාලම් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා සඳහන් කළේ, දිට්වා ව්‍යසනයෙන් හානියට පත් දුම්රිය මාර්ග සියල්ල ප්‍රතිසංස්කරණ කටයුතු ලබන වසර තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.















































