
රුපියල් අට කෝටි හැට හය ලක්ෂ හතළිස් දහසක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු 35 හැවිරිදි වියේ පසුවන නැදුන්කර්නි ප්‍රදේශයේ පදිංචි යකඩ පෑස්සුම්කරුවෙකු වන අතර, අනෙක් පුද්ගලයා 46 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
සැකකරුවන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ ඇති අතර, එතැන් සිට මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 179 දරන ගුවන් යානයෙන් අද (16) අලුයම 12.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔවුන් රැගෙන ආ ගමන් මලු දෙකක තිබූ මත්පැන් බෝතල් ඇසුරුම් කළ පෙට්ටි හතරකින් බෝතල් ඉවත් කර ඒ වෙනුවට මෙම 'කුෂ්' මත්ද්‍රව්‍ය සඟවා තිබියදී සොයාගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය තොගය පැකට් හතරක අසුරා තිබූ අතර, එහි මුළු බර කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 664කි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (16) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.
රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ හතළිස් දහසක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අද (16) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාර්මික ශිල්පියෙකි.
සැකකරු ද මෙම 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ ඇති අතර, එතැන් සිට මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔහු රැගෙන ආ ගමන් මලු දෙකක තිබූ විදේශීය මත්පැන් බෝතල් ඇසුරුම් කළ පෙට්ටි දෙකක මෙම 'කුෂ්' මත්ද්‍රව්‍ය සඟවා තිබියදී සොයාගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 384ක් වන අතර, එය පැකට් පහක අසුරා තිබී ඇත.
සැකකරු සහ ඔහු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

















































