
උඩදුම්බර, කරඹකැටිය ප්‍රදේශයේ කඳු මුදුනක පිහිටි ගල්ගුහාවක රැඳී සිටියදී දරුවෙකු ප්‍රසූත කළ 15 හැවිරිදි දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්, බිළිඳාගේ පියා බව කියන 23 හැවිරිදි සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.
ඒ අදාළ සැකකරු අද (15) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුගේ ඥාතියෙකු බව කියන 36 හැවිරිදි පුද්ගලයා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
නකල්ස් කඳුකරයේ බටහිර බෑවුමට ආසන්නව පිහිටි මීමුරේ, කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි මෙම දැරිය මීට මාස කිහිපයකට පෙර අතුරුදන්ව තිබූ අතර, ඇගේ පවුලේ සාමාජිකයින් කළ පැමිණිල්ලකට අනුව උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන ආරම්භ කෙරිණි.
විමර්ශන අතරතුර ප්‍රදේශයේ වෙළඳසැලකින් දිනපතා පුද්ගලයෙකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සහල් ප්‍රමාණයක් මිලදී ගත් තරුණයෙකු පිළිබඳව පොලිසියට සැක සිතී ඇත.
ඒ අනුව අදාළ තරුණයා පසුපස ගිය පොලිස් නිලධාරීන් ජනාවාසවලින් ඈත කැලෑවක ඉටි රෙදිවලින් ආවරණය කළ ගල්ගුහාවක් තුළ මාස දෙකක බිළිඳියක් සමඟ සිටි මෙම දැරිය සොයාගෙන තිබේ.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ දැරිය එම ගල්ගුහාව තුළදීම දරුවා ප්‍රසූත කර ඇති අතර, දරු ප්‍රසූතියෙන් පසු බිළිඳියගේ පෙකණි වැල කිතුල් කර්මාන්තයට යොදාගන්නා තියුණු ආයුධයකින් කපා වෙන් කර ඇති බවය.
එමෙන්ම කැලෑවෙන් සොයාගත් අත් බෙහෙත් වර්ග භාවිත කරමින් මවට සහ බිළිඳියට ප්‍රතිකාර කර ඇති බවත්, කිතුල් පැණි සැදීමට ගන්නා තාච්චියකින් බිළිඳිය නහවා ඇති බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණයා සහ ඔහුට සහය ලබා දුන් බව කියන ඥාති පුද්ගලයා ඊයේ (14) උඩුදුම්බර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එමෙන්ම පොලිස් භාරයට ගත් 15 හැවිරිදි බාලවයස්කාර මව සහ මාස දෙකක් වයසැති බිළිඳිය පිරිසිදු කර වැඩිදුර ප්‍රතිකාර හා පරීක්ෂණ සඳහා මහනුවර ජාතික රෝහල වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.



















































