
දියවැඩියාව පිළිබඳ ජාතික හා ගෝලීය අවධානය යොමු කෙරෙන ලෝක දියවැඩියා දිනයට සමගාමීව කොළඹ නෙළුම් කුලුන නිල් වර්ණයෙන් ආලෝකමත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා දියවැඩියා සංගමය විසින් සංවිධානය කර තිබිණි.
එය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි.
ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයේ ගෝලීය වැඩසටහනට සමගාමීව රටවල් 163ක සුවිශේෂී සංකේතවත් ස්ථාන නිල් ආලෝකයෙන් ආලෝකමත් කිරීමට කටයුතු යොදා තිබූ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංකේතයක් වන කොළඹ නෙළුම් කුලුන ද එම අන්තර්ජාතික වැඩසටහනට එක්විය.
දියවැඩියාව පිළිබඳ සමාජ දැනුවත්භාවය ඉහළ නැංවීම, රෝගය කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සහ එය පාලනය කිරීම සඳහා ජනතාව දිරිගැන්වීම මෙම ක්‍රියාවලිය මඟින් අපේක්ෂා කෙරේ.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේ, දියවැඩියාව යනු පුද්ගලයකුගේ ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කළ හැකි බරපතළ බෝ නොවන රෝග තත්ත්වයක් බවයි.
බොහෝ අවස්ථාවන්හිදී රෝගයේ මුල් අවධියේ පැහැදිලි ලක්ෂණ නොපෙන්වන බැවින්, නිසි සෞඛ්‍ය පරීක්ෂණවලට යොමුවීම සහ අඛණ්ඩව වෛද්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව ඒ මහතා පෙන්වා දුන්නේය.
රෝගය නිසි පරිදි පාලනය නොකිරීම හේතුවෙන් හෘද රෝග, ආඝාතය, වකුගඩු අකර්මණ්‍ය වීම සහ ඇස් පෙනීම දුර්වල වීම වැනි බරපතළ සංකූලතා ඇතිවිය හැකි බවත්, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක්, දෛනික ශාරීරික ක්‍රියාකාරකම් සහ දුම්කොළ භාවිතයෙන් වැළකීම මඟින් දියවැඩියා අවදානම අවම කරගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයේ 2024 දත්තවලට අනුව, වයස අවුරුදු 20ත් 79ත් අතර ශ්‍රී ලාංකික වැඩිහිටියන්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙම රෝගයෙන් පෙළෙන බැවින්, ජීවන රටාව වෙනස් කරගනිමින් නියමිත කාලසීමාවන්හිදී සෞඛ්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම කෙරෙහි ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය.
















































