
රුපියල් ලක්ෂ 42ක් වටිනා විදේශීය නිෂ්පාදිත නීතිවිරෝධී දුම්වැටි තොගයක් මෙරටට රැගෙනවිත්, "හරිත මාවත" ඔස්සේ රැගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු අද (15) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන චීන ජාතික ව්‍යාපාරිකයෙකි.
සැකකරු අද උදෑසන 09:10 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්.- 497 (MH-497) දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
පසුව ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී, චීනයේ නිෂ්පාදිත දුම්වැටි 28,000ක් අඩංගු දුම්වැටි කාටූන් 140ක් රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.
මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 42කට අධික වන බව ගුවන් තොටුපොළ රේගුව සඳහන් කරයි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරු මේ වන විටත් අත්අඩංගුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
















































