
1990 සුවසැරිය සේවාවේ කාර්ය මණ්ඩලයට 2018 වසරේ සිට මෙතෙක් කිසිදු වැටුප් වර්ධකයක් හිමිවී නොමැති බව පොදුව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය වී තිබේ.
පවතින වැටුප් ගැටලුව හේතුවෙන් එම සේවාවට බඳවාගන්නා කාර්ය මණ්ඩලය, දිගුකාලීනව රැකියාවේ රැඳී නොසිටින අතර, විදෙස්ගත වීමේ ප්‍රවණතාවක් මේ වනවිට හඳුනාගෙන ඇත.
කෝප් කාරක සභාව හමුවේ කරුණු දක්වමින් සුවසැරිය පදනමේ පත්කරන ලද අධ්‍යක්ෂ, නීතිඥ නලින් පෙරේරා මහතා සඳහන් කළේ, සේවකයින්ට තවමත් හිමිවන්නේ 2018 වසරේ ලබාදුන් ආරම්භක වැටුප බවය.
රජයේ සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබාදීමෙන් අනතුරුව, අමාත්‍යාංශය හරහා අයවැය දෙපාර්තමේන්තුවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතු බවත්, එතෙක් තම කාර්ය මණ්ඩලයට වැටුප් වැඩිකිරීමට ප්‍රතිපාදන නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙහිදී අදහස් දැක්වූ 1990 සුවසැරිය පදනමේ සභාපති නිරෝෂන් රත්නායක මහතා පෙන්වා දුන්නේ, නව සේවකයින් බඳවාගෙන පුහුණුව ලබාදී සේවයේ අනියුක්ත කළද ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සේවය අතහැර යන බවයි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනා මෙම සේවයට එක්වී ලබාගන්නා පළපුරුද්ද පදනම් කරගනිමින් ඉහළ වැටුප් සඳහා විදෙස් රැකියා වෙත යොමුවන බවත් සඳහන් කළේය.
එමෙන්ම සුවසැරිය සේවකයන්ගේ නවාතැන් පහසුකම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
මෙම සේවාවේ ගිලන්රථ වැඩි ප්‍රමාණයක් ස්ථානගත කර ඇත්තේ පොලිස් ස්ථානවල වන අතර, සුළු ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා විහාරස්ථාන පරිශ්‍රයන්හි ස්ථානගත කර ඇත.
පොලිස් ස්ථානවල ඇති පහසුකම් අදාළ කාර්ය මණ්ඩලයට ලබාදී තිබුණද, පොදුවේ එම ස්ථානවල යම් අඩුපාඩු පවතින බැවින් පොලිසිය සමග සාකච්ඡා කර එම ගැටලු අවම කරගැනීමට බලාපොරොත්තු වන බව පැවසීය.
මේ අතර ඉදිරියේදී නව සේවකයන් බඳවාගැනීමේදී මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බව පෙන්වා දුන් නීතිඥ නලින් පෙරේරා මහතා, මේ සඳහා රජයේ සෘජු මැදිහත්වීම ඉල්ලා සිටියේය.
ඒ අනුව ආරම්භක පියවරක් ලෙස වසරකට යම් මුදලක් රජයේ අයවැය ලේඛනයට ඇතුළත් කරමින්, ඉදිරි වසර 10ත් 15ත් අතර කාලය තුළ සුවසැරිය සේවකයන්ගේ නවාතැන් පහසුකම් සඳහා ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කළේය.

















































