
විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කර ඇත.
විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජනය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීම සඳහාත්, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.
ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන වෙනත් රටක පුරවැසියකු හෝ ශ්‍රී ලංකාව තුළ සිටියදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී වරදක් සිදුකර ඇති අවස්ථාවක හෝ, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවකදී මෙම පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.
ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්තවාදී පුහුණුව ලබා දීම හෝ ලබා ගැනීම ද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.
විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් වාර්ගික පදනම මත මෙම නීතිමය විධිවිධාන හඳුන්වා දී නොමැති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.
දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව විසින් අදාළ පනත් කෙටුම්පත අනුමත කළ නමුත්, කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළේය.
මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

















































