
2027 වසර සඳහා වන අයවැය කථාව හෙට (12) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වීමට නියමිත අතර, ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ.
අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතය. එම කාලය තුළ සෙනසුරාදා දින හතරක් ද විවාදය සඳහා වෙන් කර තිබේ.
2027 අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.
අයවැය විවාදය පැවැත්වෙන දිනවල පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු කටයුතු සඳහාත්, පෙරවරු 10.00 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න පහක් සඳහාත් කාලය වෙන් කර ඇත.
එමෙන්ම පෙරවරු 10.30 සිට 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් සඳහා කාලය වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වේ.
















































