
සිරදඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
අදාළ අභියාචනය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමේදී විනිසුරුවරුන් අතර මතභේදයක් ඇතිවීම හේතුවෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබිණි.
ඒ අනුව, මෙම අභියාචනය අද (11) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අභියාචනය විභාග කිරීම සඳහා සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.
ඒ අනුව, අදාළ අභියාචනය ජනවාරි 21 වැනිදා එම විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට ද අධිකරණය තීරණය කර තිබේ.
2015 වසරේ දෙසැම්බර් 21 වැනිදා තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණය විසින් ඇයට බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවමක් සහ දඩයක් නියම කරනු ලැබීය.
එම දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.
















































