
කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බිම්ස්ටෙක් සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවේ සභාපති ධුරයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.
අද (11) පෙරවරුවේ කොළඹදී ආරම්භ වූ මෙම සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමඟ බිම්ස්ටෙක් කලාපයේ සෞඛ්‍ය සහයෝගීතාව සම්බන්ධයෙන් ප්‍රමුඛ නායකත්ව වගකීමක් මෙරටට පැවරී ඇත.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය යන සාමාජික රටවල් හතේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී කලාපීය මහජන සෞඛ්‍ය ආරක්ෂාව, බෝවන රෝග පාලනය, සෞඛ්‍ය හදිසි අවස්ථාවන්ට මුහුණදීමේ සූදානම මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික හා දැනුම් හුවමාරුව ඇතුළු වැදගත් ක්ෂේත්‍ර රැසක් පිළිබඳව අවධානය යොමු කෙරේ.
මෙම සමුළුවේ සභාපති ධුරයට පත්වීමත් සමඟ කලාපීය සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ සංවාද මෙහෙයවීමේ සහ සාමූහික ක්‍රියාමාර්ග සඳහා නායකත්වය ලබාදීමේ වැදගත් වගකීමක් ද ශ්‍රී ලංකාවට පැවරී තිබේ.
එමෙන්ම, 2025 ඔක්තෝබර් මාසයේදී කොළඹදී පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) 78 වැනි දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය කමිටු සැසිවාරයේදී එම සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සභාපතිවරයා ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්ව තිබේ.
2026 ඔක්තෝබර් මාසයේදී තායිලන්තයේ බැංකොක් නුවර පැවති පස්වැනි ආසියානු - පැසිෆික් අමාත්‍ය සමුළුවේ (UNESCAP MC-5) උප සභාපතිවරයා ලෙස ද අමාත්‍යවරයා තේරී පත්ව ඇත.
















































