
කඩුගන්නාව ප්‍රදේශයේ තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඊයේ (10) කඩුගන්නාව ප්‍රදේශයේ ගල් පෙරළීමක් වාර්තා වූ ස්ථානයට ඉහළින් තවත් ගල් රැඳී ඇති බැවින් ඒවා පහළට පෙරළී ඒමේ අවදානමක් පවතින බවය.
එමෙන්ම කඩිගමුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ඔහු සඳහන් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිවලට හසු නොවන ඇතැම් ප්‍රදේශවලට ස්ථානීය වර්ෂාපතනයක් ලැබීම ද නායයෑම් හා ගල් පෙරළීම් වැනි අවදානම් තත්ත්ව පුරෝකථනය කිරීම සංකීර්ණ කිරීමට හේතු වී ඇති බව ආචාර්ය වසන්ත සේනාධීර මහතා පෙන්වා දෙයි.
වර්ෂාමාන දෙකක් අතර දුර කිලෝමීටර් 6ත් 10ත් අතර විය හැකි බැවින් ඒ අතරමැදි ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය පිළිබඳ නිවැරදි දත්ත නොලැබීමේ ගැටලුවක් පවතින බව ද ඔහු පැවසීය.
කඩුගන්නාවේ ගල් පෙරළීම සිදුවූ ස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි කුරුකුත්තල පාසලේ වර්ෂාමානයේ සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නොතිබුණ ද, ගල් පෙරළීම සිදුවූ ස්ථානයට ලැබුණු වර්ෂාව හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවට නිරීක්ෂණය වන බව ද ඔහු සඳහන් කළේය.
එබැවින් අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව පවතින තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවට ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
















































