
දූෂණ චෝදනා එල්ල වී ඇප මත මුදා හැරීමෙන් පසු නඩු විභාගයට පෙනී නොසිටිම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
එහෙත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් බෝගොල්ලගම මහතා නැවත බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
මේ අතර මෙම විත්තිකරු විත්ති වාචකය කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස විත්තිය නීතිඥවරු කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවන ලෙසත් නියෝග කළේය.
ලන්ඩනයේ පැවති වෙළෙඳ ප්‍රදර්ශනයකට සහභාගිවී මූල්‍ය රෙගුලාසිවලට පටහැනිව රුපියල් ලක්ෂ පහළොවකට වැඩි මුදලක් ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකොට දූෂණය නැමැති වරද සිදුකළ බව චෝදනා කරමින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.














































