
අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල සමග AI ක්ෂේත්‍රයේ වර්ධනය මන්දගාමී වනු ඇතැයි යන බිය හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්වල කොටස් මිල, ඩොලර් ට්‍රිලියන ගණනක වෙළෙඳපොළ වටිනාකමක් අහිමි කරමින් අහිමි කරමින් දැවැන්ත කඩා වැටීමක් සිදුව තිබේ.
කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ වේගවත් ව්‍යාප්තිය පාලනය කිරීම ප්‍රධාන තේමාව කරගනිමින් ප්‍රචාරණ කටයුතු මෙහෙයවූ ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ මැතිවරණ ජයග්‍රහණයත් සමග මෙලෙස තාක්ෂණික හා AI ක්ෂේත්‍රයට සම්බන්ධ සමාගම්වල කොටස් මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටී ඇත.
මෙම කඩාවැටීම හේතුවෙන් අමෙරිකාවේ 'Nasdaq' දර්ශකය 5.5%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇති අතර, 'Dow Jones' දත්තයන්ට අනුව එයින් අහිමි වූ වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.5කි.
එමෙන්ම අනෙකුත් ප්‍රධාන අමෙරිකානු කොටස් දර්ශක ද දැඩි ලෙස පහත වැටී ඇති අතර, ඒ හේතුවෙන් එය 2025 වසරෙන් පසු වාර්තා වූ දැවැන්තම එක්දින කඩාවැටීම් අතරටද එක්ව ඇත.
AI පහසුකම් වෙනුවෙන් සිදුකරන දැවැන්ත ආයෝජනයන්ගෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබේද යන්න පිළිබඳ ආයෝජකයින් තුළ පැවැති පූර්ව සැකය ද මෙම සෙලවීමට තවත් හේතු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ සිදුවූ මෙම පසුබෑමේ බලපෑම, ආසියානු වෙළෙඳපොළ වෙතද සෘජුවම එල්ල වී තිබේ.
AI තාක්ෂණය සඳහා අවශ්‍ය පරිගණක චිප් සහ අනෙකුත් උපාංග නිෂ්පාදනය කරන ආසියානු සමාගම්වල කොටස් මිල ගණන් දැඩි ලෙස පහත වැටීම හේතුවෙන් අද (6) උදෑසන වනවිට ආසියාවේ ප්‍රධාන තාක්ෂණික කොටස් දර්ශකයන් හි විශාල කඩා වැටීමක් සිදුව තිබේ.
ඒ අනුව ජපානයේ 'Nikkei 225' දර්ශකය 6% කින් පහත වැටුණු අතර, එහිදී ප්‍රමුඛ 'Memory chip'නිෂ්පාදකයෙකු වන 'Kioxia' සමාගමේ කොටස් 12.6% කට වඩා වැඩි ප්‍රමාණයකින් සහ 'Tokyo Electron' සමාගමේ කොටස් 9.5% කින් පහත වැටී ඇත.
එමෙන්ම 'Samsung' සමාගම 10% කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති අතර, සෝල් කොටස් වෙළෙඳපොළේ 'Kospi' දර්ශකය 8.5% කට වඩා කඩා වැටී තිබේ.
ඒ හේතුවෙන් එහි කොටස් කඩාවැටීම පාලනය කිරීම සඳහා වෙළඳාම තාවකාලිකව අත්හිටුවන 'Circuit breaker' ක්‍රමවේදය සක්‍රීය කිරීමට පවා සිදුව ඇත.
මීට අමතරව තායිවානයේ 'Taiex' දර්ශකය 8.3% කට වඩා පහත වැටුණු අතර, ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන 'TSMC' හි කොටස් අගය 8.5% කින් පමණ පහත වැටුණි.
MarketWatch හි තාක්ෂණික විග්‍රහකයින් පෙන්වා දෙන්නේ, කෘතිම බුද්ධි යටිතල පහසුකම් වෙනුවෙන් කෙරෙන අධික පිරිවැය සහ ආයෝජනයන් පිළිබඳ ආයෝජකයින් තුළ පවතින දිගුකාලීන නොසන්සුන්භාව මෙම කඩා වැටීම තුළින් නැවත වරක් තහවුරු වන බවය.














































