
ජෝර්දානයේ අම්මාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට අද (05) සිදුවූ තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියෙන් තානාපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ එරට සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සුරක්ෂිතව සිටින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරයි.
ජෝර්දාන මහජන ආරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය සඳහන් කර ඇත්තේ, අද දහවල් 12.20ට පමණ තානාපති කාර්යාලය ඉදිරිපිටදී තියුණු ආයුධයක් යොදාගනිමින් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.
එම සිද්ධියෙන් රාජකාරියේ නිරතව සිටි එරට ආරක්ෂ අංශ සාමජිකයෙකු වන කෝප්රල් ජවාඩ් අලි කලෆ් අල් සලයිටා ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය වූ ස්ථානයට වහාම පැමිණි පොලිස් කණ්ඩායම සැකකරු මැඩපවත්වා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී පොලිස් මුර සංචාරයේ ප්‍රධානියාගේ මුහුණට තුවාල සිදුව තිබේ. ඔහු රෝහල්ගත කර ඇති අතර, මේ වනවිට ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් වේ.
මූලික විමර්ශනවලදී සැකකරු ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කර මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව, ජෝර්දාන බලධාරීන් මෙම සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
සිද්ධියෙන් මියගිය කෝප්‍රල්වරයාගේ පවුලේ සාමාජිකයන්ට සහ සහෝදර නිලධාරීන්ට සිය ශෝකය පළ කරන බව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
තානාපති විශ්වනාත් අපොන්සු මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ජෝර්දාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් එරට ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



















































