
පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා ගෑස් සිලින්ඩර් තොගයක් සන්තකයේ තබාගෙන සිටියදී ගෑස් නොමැති බව පවසමින් අලෙවිය ප්රතික්ෂේප කළ මහනුවර ප්රදේශයේ වෙළෙන්දෙකුට මහනුවර මහේස්ත්රාත් අධිකරණය විසින් දඩ නියම කර තිබේ.
එමෙන්ම, වැටලීමේදී සොයාගත් කිලෝග්රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28ම රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.
පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මහනුවර දිස්ත්රික් විමර්ශන නිලධාරීන් විසින් මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.
එහිදී විමර්ශන නිලධාරියෙකු උපායශීලීව පාරිභෝගිකයෙකු ලෙස පෙනී සිටිමින් කිලෝග්රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ඉල්ලා තිබේ.
එම අවස්ථාවේදී අදාළ වෙළෙන්දා තමන් සන්තකයේ ගෑස් සිලින්ඩර් නොමැති බව පවසමින් අලෙවිය ප්රතික්ෂේප කර ඇත.
කෙසේ වෙතත්, අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් වෙළෙඳසල පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ කිලෝග්රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28ක් සොයාගෙන තිබේ.
ඒ අනුව අදාළ ගෑස් සිලින්ඩර් තොගය නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන වෙළෙන්දාට එරෙහිව මහනුවර මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇත.
අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව වෙළෙන්දාට දඩ මුදලක් නියම කළ මහේස්ත්රාත් අධිකරණය, නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබූ ගෑස් සිලින්ඩර් 28ම රාජසන්තක කිරීමට ද නියෝග කර තිබේ.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 16(අ) වගන්තිය අනුව, වෙළෙඳාම සඳහා තම සන්තකයේ, භාරයේ හෝ පාලනය යටතේ භාණ්ඩ තිබියදී එම භාණ්ඩ තමන් සන්තකයේ නොමැති බව පාරිභෝගිකයින්ට පැවසීම නීති විරෝධී ක්රියාවකි.
පාරිභෝගිකයින් අපහසුතාවට පත් කරමින් භාණ්ඩ සඟවා තබා ගැනීම, භාණ්ඩ තිබියදී නොමැති බව පැවසීම සහ අසාධාරණ වෙළෙඳ ක්රියාකාරකම් වැළැක්වීම සඳහා දිවයින පුරා වැටලීම් හා විමර්ශන අඛණ්ඩව ක්රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.


















































