
නේපාලයේ පිහිටි ගැඹුරුම විල වන 'ෂේ ෆොක්සුන්දෝ' (Shey Phoksundo) නැරඹීම සඳහා සංචාරයේ නිරත වූ ඉන්දියානු සංචාරකයින් හය දෙනෙකු අතුරුදන්ව තිබේ.
අතුරුදන් වූවන් අතර පිරිමි සංචාරකයින් 4 දෙනෙකු සහ කාන්තාවන් 2 දෙදෙනෙකු ඇතුළත්වන බව සඳහන් වෙයි.
නේපාලයේ දොල්පා (Dolpa) දිස්ත්රික්කයේ නුමා ලා (Numa La) සහ බගා ලා (Baga La) කඳුකර මාර්ග හරහා ගමන් කරමින් සිටියදී මොවුන් සමඟ පැවැති සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
බෙංගාල බොක්කේ හටගත් 'ඔර්නබ්' (Arnab) හි බලපෑම හේතුවෙන් මෙම හිමාලයානු කලාපයට අධික හිමපතනයක් ඇදහැලෙමින් පවතින බව වාර්තා වේ.
අයහපත් කාලගුණය සහ මාර්ගවල පවතින අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ප්රදේශවාසීන් විසින් සපයන ලද අනතුරු ඇඟවීම් නොසලකා මොවුන් මෙම සංචාරයේ නිරත වී ඇති බව ද විදෙස් වාර්තාවන්හි සඳහන් වෙයි.
කලාපයේ පවතින සන්නිවේදන බාධා සහ දැඩි හිමපතනය හමුවේ සෙවීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබුණද, ඔවුන් මුදාගැනීම සඳහා නේපාල හමුදා කණ්ඩායමක් යොදවා තිබේ.
එමෙන්ම ගුවන්මගින් සෙවුම් මෙහෙයුම් වේගවත් කිරීම සඳහා හෙලිකොප්ටර් යානාවල සහය ලබා ගැනීමටද නේපාල බලධාරීන් පියවර ගනිමින් සිටී.



















































