
පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහු ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හොරණ, බැල්ලපිටිය ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ සේවය පසුගිය 26 වැනිදා සිට අත්හිටුවීමට ද පියවර ගෙන තිබිණි.
එමෙන්ම එම පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ ද සේවය අත්හිටුවා ඇත.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරි පැහැර හැරීම යන චෝදනා මත හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සේවය ද වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු සිරමැදිරියේ රඳවා තැබීමේදී ඔහුගේ තත්ත්වය පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු නොකිරීම, විමර්ශන නිලධාරීන්ට ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවශ්ය උපදෙස් ලබා නොදීම සහ අත්අඩංගුවට ගැනීමට අදාළ සටහන් නිවැරදිව පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එල්ල වී ඇති ප්රධාන චෝදනා අතර වේ.
පසුගිය ඔක්තෝබර් 25 වැනි දින හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 490ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත පී.ඩී. ඉෂාර හර්ෂ කුමාර නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙකු වන ඔහු, මෙලෙස පොලිස් භාරයේ සිටියදී මියගොස් ඇත.
කෙසේවෙතත්, මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිස් භාරයේ සිටියදී සිදුකළ බව කියන පහරදීම් හේතුවෙන් ඔහු මියගිය බවය.






















































