
කොබෙයිගනේ, බැද්දේගම ප්රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාර දීමෙන් පසු, සැකකරු පොලිස් භාරයේ සිට රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් තිබේ.
පසුගිය සඳුදා (25) දහවල් මෙම සැකකරු ප්රදේශවාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාර දී ඇති අතර, ඉන් අනතුරුව දින දෙකක් පුරා ඔහු පොලිස් අත්අඩංගුවේ සිට ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ඊයේ (27) රාත්රියේදී ඔහුව නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.
එහිදී සැකකරුගේ මරණයෙන් පසු ඔහුව අල්ලා පොලිසියට භාර දුන් ප්රදේශවාසීන් පස් දෙනෙකු කොබෙයිගනේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වූ අයගේ ඥාතීන් චෝදනා කරන්නේ, සැකකරු අල්ලාගෙන ගසක බැඳ පැයක් ගතවීමටත් මත්තෙන් පොලිසිය දැනුවත් කර කිසිදු උපද්රවයකින් තොරව ඔහු නිරපද්රිතව පොලිසියට භාර දුන් බවය.
එමෙන්ම ගම්වාසීන් අතින් යම් පහරකෑමක් සිදුවී තිබුණි නම්, මරණයට පත්වීමට මත්තෙන් ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත යුතුව තිබූ බවද ඔවුන් පෙන්වා දෙයි.
මීට පෙරද මෙම මියගිය පුද්ගලයාගේ සොරකම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පොලිසිය දැනුම්වත් කර තිබූ බවත්, එවිට පොලිසිය විසින් ඔහුව අල්ලා තමන් වෙත භාර දෙන ලෙස උපදෙස් දී තිබූ බවත් අත්අඩංගුවට පත් වූ අයගේ ඥාතීන් වැඩිදුරටත් පවසයි.



















































