
වාද්දුව, මොල්ලිගොඩ ප්රදේශයේදී සිදුවූ දරුණු මාර්ග අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබේ.
අද(28) උදෑසන 8ට පමණ වාද්දුව, මොල්ලිගොඩ මංසන්ධියේ සිට කන්දේකඩේ දක්වා දිවෙන ප්රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බව වාද්දුව පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ වස්කඩුව ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.
ඔහු මොල්ලිගොඩ ප්රදේශයේ පිහිටි දිවයිනේ ප්රමුඛ පෙළේ යෝගට් නිෂ්පාදන සමාගමක සේවය කළ අයෙකු බව අනාවරණය වී ඇත.
එම කර්මාන්තශාලාවේම සේවය කරන මිතුරන් දෙදෙනෙකු යතුරුපැදි දෙකකින් අධික වේගයෙන් එකම දිශාවට සේවා ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ විදුලි කණුවක ගැටී ඇති අතර, ඒ සමගම එම යතුරුපැදිය මාර්ගය හරහා ඇද වැටී ඇත.
එම අවස්ථාවේදී පිටුපසින් පැමිණි අනෙක් යතුරුපැදියද ඇද වැටී ඇති අතර එම යතුරුපැදියේ ගැටීමෙන් එහි ගමන් කළ අනෙක් තරුණයාද තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ තරුණයා වැඩිදුර ප්රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



















































