
ප්රශ්නගත එයාර්බස් නඩුව අවසානයේදී ක්රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව මෝසමක් මගින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී අද (27) කැඳවීය.
එහිදී නීතිඥ රුවන්ත කුරේ මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සුවිශේෂි කරුණු ඉදිරිපත් කරමින් එම නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මහතාට ඇප අයැද සිටියේය.
"ස්වාමිනි, මාගේ සේවාදායකයා උප්පැන්නෙත් බොරු කියයිද දන්නේ නැති නිසා මම මේ අධිකරණයට උප්පැන්න සහතිකය ඉදිරිපත් කරනවා. ඊට අනුව මොහුගේ පියා වන පර්සි මහින්ද රාජපක්ෂට දැන් වයස අවුරුදු 81ක්. මව ශිරන්ති රාපක්ෂට වයස අවුරුදු 77ක්. පියා නිතර වෙනස්වන අධික රුධිර පීඩනයෙන් සහ විෂාධයෙන් පෙළෙනවා. ඔහු රෝහල්ගතව ප්රතිකාර ලබා දැන් පිටතට පැමිණ තිබුණත්, ළඟින් සිට රැක බලාගතයුතු තත්ත්වයක ඉන්නේ. සාමාන්යයෙන් ඔහුගේ ළඟ ඉදලා බලාගන්නේ භාර්යාව වන ශිරන්ති රාපක්ෂ. ඇයත් මේ අධිකරණයේ පවතින නඩුවකට අදාළව ඇපමත මුදාහැර සිටිනවා. ඇයට ඇප සලකා බැලීමේදී ජාතික රෝහලේ වෛද්යවරුන් 12 දෙනෙකු ඉදිරිපත් කළ වෛද්ය වාර්තා තුළින් පෙන්නුම් කළා හෘදයට ලේ සපයන ප්රධාන රුධිර වාහිනිය දැඩිලෙස අවහිරවීම නිසා අවදානම් හෘද ශල්යකර්ම 02ක් සිදුකළ යුතුයි කියලා. ඒ අනුව පසුගියදා පළමු හෘද සැත්කම සිදුකර හෘදයේ ස්පන්දනය පාලනය කිරීමේ යන්ත්රයක් ඇතුල් කළා. අද සවස 04ට ජීවිත අවදානමක් සහිත බයිපාස් සැත්කමක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. මේ තත්ත්වය මත ඇයට සැමියාව රැකබලා ගැනීමට බැහැ. මවට සහ පියාට ඇප උපස්ථාන කිරීමට වැඩිමහළු පුතා ළඟ සිටිය යුතුයි ස්වාමිනි. මේ පිළිබඳ සානුකම්පිතව බලන්න. මීටත් වඩා බරපතල මත්ද්රව්ය වැරදිවලටත් සානුකම්පිතව ඇප ප්රධානය කරලා තියෙනවා. ප්රභාකරන්ව ඝාතනය කළාට පස්සේ ඔහුගේ මව සහ පියාවත් ආරක්ෂා කරපු රටක් මේක. මොහුගේ මවට අද කරන Open Heart ශල්යකර්මය ජීවිතය පවා අවධානමක තියෙන ශල්යකර්මයක්. අද දැක්කේ නැත්නම් යළි දකින්න වෙයිද දන්නෙත් නැහැ. මීට වඩා සුවිශේෂි කරුණු අවශ්ය නම් ඇපගන්න නිර්මාණය කරන්න තමයි වෙන්නේ. ස්වාමිනි සියලු නීතින්ට උඩින් තියෙන ආණ්ඩුක්රම ව්යස්ථාවේ 13(5) තියෙන නිර්දෝශිභාවයේ පූර්ව නිගමනය තවමත් මොහුට අදාළයි. මොහු දාලා දුවන්නේ නැහැ. මේ රජයේ අමාත්යවරයෙකුට එරෙහිව නඩුවක් අවා. හැබැයි අත්අඩංගුවටගෙන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමක් වුණේ නැහැ. කෙලින්ම මහාධිකරණයට ඉදිරිපත්වෙලා ඇප ගත්තා. දැන් පීත්ත පටි කප කපා විවෘත කිරීම් කර කර යනවා. ඔහු ගැන කියන්නේ නීතියෙන් වැරදිකරු කරනතුරු නිර්දෝෂියිලු. ඔව් අපිත් පිළිගන්නවා. හැබැයි එයාට එක නීතියක් තව කෙනෙක්ට තව නීතියක් වෙන්න බැහැ. මට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ එක දෙයයි අද පීඩාකාරි ලෙස හැසිරෙන අය ඉදිරි දිනක පීඩිතයා වෙන්න පුළුවන්. ඒ නිසා සියලුදෙනාටම එක ලෙස සලකන්න."
කෙසේ වෙතත් ජනාධිපති නීතිඥවරයා සිදුකළ එම ඇප ඉල්ලීමට ප්රතිචාර දක්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි එහි ජ්යෙෂ්ඨ සහකාර නීති අධ්යක්ෂ නීතිඥ තනුජා බණ්ඩාර මහත්මිය කියා සිටියේ ක්රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව මෝසමක් මගින් අද දින අධිකරණයේ සලකා බැලෙන බව තමන්ට දැනුම්දීමක් නොවූ බවය.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පෙනී සිටිමට අද දින අධිකරණයට පැමිණි අවස්ථාවේ ඒ පිළිබඳ අහම්බෙන් දැනුවත් වූ බව සඳහන් කළ සහකාර නීති අධ්යක්ෂවරිය සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දැක්වීමට අවශ්ය බව කියා සිටියාය.



















































