
හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරී පැහැර හැරීම මත, හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර ඇති බව පොලිස්පතිවරයා නිවේදනය කර තිබේ.
පසුගිය ඔක්තෝබර් 25 වැනිදා හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 490ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත පී.ඩී. ඉෂාර හර්ෂ කුමාර නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සැකකරු පොලිස් භාරයේ සිටියදී මියගොස් ඇති අතර, ඊට අදාළව සිදුකළ විමර්ශනවලදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අතින් බරපතළ රාජකාරී පැහැර හැරීම් සිදුව ඇති බව අනාවරණය වී ඇත.
සැකකරු සිරමැදිරියේ රඳවා තැබීමේදී ඔහු පිළිබඳව සොයා බලා විමර්ශන නිලධාරීන්ට ඉදිරි කටයුතු සඳහා නිසි උපදෙස් ලබා දී නොමැති වීම, සැකකරුගේ තත්ත්වය නිසි ලෙස පරීක්ෂා නොකිරීම සහ අත්අඩංගුවට ගැනීමට අදාළ සටහන් නිවැරදිව යොදා ඇද්දැයි අධ්යයනය කරමින් නිසි අධීක්ෂණයක් නොකිරීම යන චෝදනා මත මෙම පියවර ගෙන තිබේ.
මීට අමතරව, හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට පොලිස් අත්අඩංගුවේ අනීතික ලෙස පුද්ගලයන් දෙදෙනෙකු රඳවා තබා ගැනීමට ඉඩ ප්රස්ථාව ලබා දීම ද මෙම වැඩ තහනමට හේතු වී ඇත.
ඒ අනුව, මෙම වගකීම් විරහිත සහ දුර්වල අධීක්ෂණ ක්රියාකලාපය හේතුවෙන් හෝමාගම පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.ආර්.එස්. ප්රජාන් සේනානායක මහතාගේ රාජකාරී වැඩ තහනම ඊයේ (28) දින සිට ක්රියාත්මක වන පරිදි සිදු කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව පසුගිය 26 වනදා සිට ක්රියාත්මක වනපරිදි හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් තිදෙනෙකුගේ ද සේවය අත්හිටුවීමට පියවර ගනු ලැබීය.
ඉන්පසු ව ඊයේ පස්වරුවේ එම අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබූ අතර අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.























































