
හෝමාගම පොලිස් සිරමැදිරිය තුළ දී මියගිය බවට වාර්තා වූ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් කරුණු විමසීමට හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පෙනී සීටින ලෙස දැනුම් දී තිබේ.
හෙට(29) දිනයේදී මෙලෙස මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පෙනී සිටින ලෙස මෙම කැඳවීම සිදුකර ඇති බව එහි කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයට අදාළව මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුගෙන් ප්රකාශ සටහන් කර ගැනීමට ද පියවර ගෙන තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනයට අදාළව හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන් වෙයි.
අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ හෝමාගම පොලිස් ස්ථානයේ රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් මෙලෙස ප්රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.
සිද්ධියට අදාළව හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, දූෂණ මර්ධන වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට මීට පෙර පියවර ගෙන තිබුණි.
වැඩ තහනමට ලක්වූ එම නිලධාරීන්ට අමතරව එදින රාජකාරියේ නිරතව සිටි තවත් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් මෙලෙස ප්රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන් වෙයි.
මීට අමතරව අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ නැගෙනියගෙන් ද බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් ප්රකාශ සටහන් කරගෙන තිබේ.
එමෙන්ම මියගිය පුද්ගලයා සමග අත්අඩංගුවට ගත්, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තවත් සැකකරුවකුගෙන් ද ප්රකාශ සටහන් කර ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය සදහන් කළේය.



















































