
හෝමාගම පොලිස් අත්අඩංගුවේදී මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධව ක්රියාකළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශවලට අනුගතව එම පොලිස් නිලධාරීන් කටයුතු කර නොමැති බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසන් සභාව පෙන්වාදෙන්නේ සිය කොමිසම විසින් සිදුකරන ලද විමර්ශනවලදී ඒ බව අනාවරණය වූ බවය.
හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිසිය විසින් සිදුකළ පහරදීමකින් මියගොස් ඇති බවට පළවූ වාර්තා සැලකිල්ලට ගනිමින් එම කොමිසම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය.
ඊට අදාළව කොමිසන් සභා නිලධාරීන් එම පොලිස් ස්ථානයට ගොස් තොරතුරු ලබාගත් ඇති අතර මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ගෙන් ද ප්රකාශ ලබාගත් බව ඔවුන් සඳහන් කළේය.
2020 වසරේ ජනවාරි මස සිට 2025 වසරේ මාර්තු 31 වැනිදා කාලය තුළ පොලිස් අත්අඩංගුවේ දී පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති අතර පොලිසිය සමග ගැටුම් හේතුවෙන් තවත් 30 දෙනෙකු මියගොස් ඇති බව මානව හිමිකම් කොමිසන් සභාව පෙන්වාදෙයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් ක්රියාකළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ සකස් කර ඒ පිළිබඳව පොලිස්පතිවරයා සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ මාර්ගෝපදේශ චක්ර ලේඛයක් මගින් සියලු පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පෙන්වා දෙයි.
කෙසේවෙතත් මෙම සිදුවීමේ දී හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාළ මාර්ගෝපදේශවලට අනුගතව කටයුතු කර නොමැති බවට අනාවරණය වී ඇති බව මානව හිමිකම් කොමිසන් සභාව සඳහන් කළේය.
මෙලෙස පුද්ගලයින් පොලිස් අත්අඩංගුවේදී මියයාම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන මානව හිමිකම් කොමිසන් සභාව මෙම සිද්ධියට අදාළ වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ට හෙට පස්වරු 1.30ට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක්ද සිදුකර තිබේ.
මීට අමතරව මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා කැඳවීමට ද කොමිසන් සභාව තීරණය කර ඇත.
මේ අතර මියගිය පුද්ගලයාගේ දේහය ඊයේ(27) රාත්රී කිරිවත්තුඩුව මූණමලේවත්ත ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙනවිත් තිබූ අතර අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතව ඇත.



















































