
ධීවර කර්මාන්තය යැපුම් ආර්ථිකයෙන් ඔබ්බට ගෙන ගොස් වාණිජ කර්මාන්තයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කරයි.
ඒ සඳහා අවශ්ය නව ආයෝජන සිදු කිරීමට සියලු පහසුකම් සැපයීමට රජය සූදානම් බව සඳහන් කළ ජනාධිපතිවරයා, ධීවර කර්මාන්තයේ දියුණුව උදෙසා ක්රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳ විධිමත් සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මත්ස්ය නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම ධීවර ප්රජාවගේ ආදායම් තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෙම සාකච්ඡාව පවත්වා ඇත.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳව අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනතාවගේ ජීවන වියදම අවම කිරීමේ අරමුණින් මත්ස්ය නිෂ්පාදන සාධාරණ සහ අඩු මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට අවශ්ය ක්රියාමාර්ග කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති අතර, ඊට අදාළව ධීවර අමාත්යාංශය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම ධීවර කර්මාන්තයේ වර්තමාන තත්ත්වය, ලංකා ධීවර සංස්ථාවේ කටයුතු, පෑලියගොඩ මධ්යම මත්ස්ය වෙළෙඳ සංකීර්ණයේ ක්රියාකාරිත්වය සහ ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය ප්රවර්ධනයට නවීන තාක්ෂණයෙන් සමන්විත යාත්රා හඳුන්වා දීමේ අවශ්යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.
ශ්රී ලංකාවේ වාර්ෂික මත්ස්ය නිෂ්පාදනය මෙට්රික් ටොන් ලක්ෂ 4කට ආසන්න වුවද, ඉන් සියයට 40ක පමණ පසු අස්වනු නාස්තියක් සිදුවන බව මෙහිදී අනාවරණය වූ අතර, එම නාස්තිය අවම කරගැනීමට ගත යුතු ක්රියාමාර්ග පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා විය.
ධීවර ණය යෝජනා ක්රම ක්රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා, ධීවර කර්මාන්තය සෙසු කර්මාන්තවලින් වෙනස් බැවින් ණය යෝජනා ක්රම සකස් කිරීමේදී එම ක්ෂේත්රය වෙනුවෙන්ම විශේෂ නිර්ණායක සකස් කළ යුතු බවට මුදල් අමාත්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මීට අමතරව, ජලජීවී වගාව ප්රවර්ධනය කිරීම සහ මිරිදිය ධීවර කර්මාන්තයට අදාළව ඉඩම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මහවැලි අධිකාරිය සමග සාකච්ඡා කර විසඳා ගන්නා ලෙසද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙන ලදී.
මෙම සාකච්ඡාවට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර්, නියෝජ්ය අමාත්ය රත්න ගමගේ යන මහත්වරුන් ඇතුළු අමාත්යාංශ සහ මුදල් අමාත්යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.



















































