
පවතින ගෑස් අර්බුදය විසඳීම සඳහා මේ වන විට දිනකට ලිට්රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයකට ආසන්න ප්රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ලිට්රෝ ගෑස් සමාගම පියවර ගෙන ඇති බව අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (27) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී අදහස් දක්වමින් අමාත්යවරයා පැවසුවේ සාමාන්ය පසුබිමක ලිට්රෝ ගෑස් දිනකට නිකුත් කරනුයේ 74,000ක ප්රමාණයක් බවත් මේ වන විට එය ඉක්මවා යමින් 25%ක අමතර ප්රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවය.
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ලාෆ් ගෑස් හිඟයක් වෙළෙඳපොළ තුළ නිර්මාණය වූ බවත් පැවසූ අමාත්යවරයා මේ අනුව ලිට්රෝ ගෑස් වැඩි ප්රමාණයක් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත් පැවසීය.
එමෙන්ම මේ වන විට ලිට්රෝ සමාගම වෙත ගෑස් නෞකාවක් පැමිණ ඇති බවත් එම නෞකාවේ ගෑස් මේ වන විටත් ගොඩබාමින් පවතින බව පැවසූ අමාත්යවරයා එළැඹෙන 31 වැනි දින වන විට තවත් මෙට්රික් ටොන් 3,900ක ගෑස් නෞකාවක් පැමිණීමට නියමිත බවද සඳහන් කළේය.
"ලාෆ් ගෑස් සැපයීමේ ප්රශ්නයක් තියෙනවා පසුගිය සැප්තැම්බර් මාසයේ සිට. ලිට්රෝ ගෑස්වල අපේ දෛනික ඉල්ලුම මෙට්රික් ටොන් 1100ක් තිබුණේ ඒක 1,600ක් දක්වා ඉහළ ගිහින් තිබුණා. නමුත් දැන් වෙනකොට මෙට්රින් ටොන් 3,000ක ලිට්රෝ ගෑස් තොගයක් ලංකාවට ඇවිත් තියෙනවා මේ වන විට ගොඩබෑමේ කටයුතු සිදුවෙමින් තිබෙනවා. ඊට අමතරව ඔක්තොම්බර් 31 වෙනි සෙනසුරාදා වෙනකොට තවත් මෙට්රික් ටොන් 3,900ක නැවක් පැමිණීමට නියමිතයි. සාමාන්යයෙන් දැනට අපි කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩර් දිනකට 90,000-100,000ත් අතර ප්රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරනවා. ලිට්රෝ ගෑස් සාමාන්ය තත්ත්වයකදි නිකුත් කරන්නේ සිලින්ඩර් 74,000ක් පමණයි. ඊට අමතරව 25%ක් පමණ නිකුත් කරලා තමයි මේ තත්ත්වයට මුහුණ දෙමින් යන්නේ මේ ලාෆ් එකේ ඇතිවෙලා තියෙන ප්රශ්නයත් එක්ක."



















































