
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට භාණ්ඩ හා සේවා මිලට බලපෑමක් එල්ල වී ඇති බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී අදහස් දක්වමින් අමාත්යවරයා පැවසුවේ භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියද ජනතාවට රජය විසින් සහන සැලසීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවය.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ගණන් ඉහළ ගිය බවත් මීට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවූ නමුත් ඒ සඳහා රජය විසින් සහනාධාර මුදලක් ලබා දීමට පියවර ගෙන ඇති බවද අමාත්යවරයා සඳහන් කළේය.
මීට අමතරව ජනතාවට සහන සැලසීම සඳහා විදුලි බිලටද රුපියල් බිලියන 17.5ක සහනාධාරයක් ලබා දුන් බවත් පැවසූ අමාත්යවරයා මීට අමතරව පාසල් සිසුන් ලක්ෂ 15ක් සඳහා රුපියල් 6,000 බැගින් ලබා දීමටත් අස්වැසුම සහනාධාර මුදල් ඉහළ දැමීමටත් පියවර ගත් බවද සඳහන් කළේය.
"සමහර භාණ්ඩ හා සේවා මිල වැඩිවීමේදී ඇත්තටම බලපාලා තියෙන්නේ මැදපෙරදිග යුදමය තත්ත්වය. ඒකත් එක්ක තෙල් මිල වැඩි කරන්න සිද්ධ වුණා. අපි සහනයක් ලබා දුන්නත් අවස්ථා කිහිපයකදී තෙල් මිල වැඩි කළා ඒකෙත් බලපෑමක් තියෙනවා. පහුගිය දවස් කිහිපයේදීත් තෙල් මිල සීඝ්රයෙන් වැඩිවුණා. ලෝක ආර්ථික අස්ථාවරත්වය මේකට බලපාලා තියෙනවා. රජය තෙල් මිලට සහනයක් දුන්නෙත් ඒ සිදුවීම කරණ කොට ගෙන. සාමාන්යයෙන් රාජ්ය සේවකයින්ට වැටුප් වැඩිකරන කොට වසරකට රාජ්ය සේවකයින්ට අමතරව වැටුප් වැඩි කිරීමට ලබා දුන් මුදලට සමාන මුදලක් ඉන්ධන සහනාධාරයට වෙන් කරලා තියෙන්නේ. ඊළඟට විදුලි බිලට සහනයක් ලබා දීලා තියෙන්නේ බිලියන 17.5ක. තවත් සහන කිහිපයක් ලබා දීමට කටයුතු කරනවා. අපි මේ අවුරුද්දෙත් දරුවෝ ලක්ෂ 15කට රුපියල් 6,000ක් ලබා දෙන්නේ, අස්වැසුම යම් ප්රමාණයකින් වැඩි කිරීමට කටයුතු කරන්නේ ජනතාවට යම් සහන ප්රමාණයක් ලබා දෙන්න. මතක තියාගන්න භාණ්ඩාගාරයේ තිබෙන මුදල් තමයි මේවාට යොදාගන්න වෙන්නේ."



















































