
රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර තත්පරයට ඝන අඩි 15,000කට අධික ජල ප්රමාණයක් කලා ඔයට මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අද (26) මධ්යහ්න 12 වන විට ජලාශයට ලැබෙන ජල ප්රමාණය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
ජලාශයේ පෝෂක ප්රදේශවලට ලැබෙන වර්ෂාපතනය සහ ජලාශයට ලැබෙන ජල ප්රමාණය අනුව ඉදිරියේදී විවෘත කරන වාන් දොරටු සංඛ්යාව වෙනස් විය හැකි බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, රාජාංගන ජලාශයට පහළින් කලා ඔය ගංගා ද්රෝණිය අවට පදිංචි ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන ලෙසත්, ගංගාවේ ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දී තිබේ.
මේ අතර, මී ඔය ගංගා ද්රෝණියේ පිහිටි තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කර තිබේ.
අද මධ්යහ්න 12 වන විට ජලාශයට ලැබෙන ජල ප්රමාණය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, ඒ අනුව මී ඔයට තත්පරයට ඝන අඩි 880ක ජල ප්රමාණයක් මුදාහැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින්, තබ්බෝව ජලාශයට පහළ ප්රදේශවල සහ මී ඔය ගංගා ද්රෝණිය දෙපස පදිංචි ජනතාවට ද ගංගාවේ ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, අදාළ අංශ නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබේ.



















































