
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශයේ යාත්රා කරන බහුදින ධීවර හා නාවික ප්රජාව වෙනුවෙන් තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇත.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිර දෙසට ගමන් කරමින් පවතී.
මෙම පද්ධතිය ඉදිරි දිනවලදී තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් සහ ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉහළ ඉඩකඩක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ප්රධාන අවධානම් සහ උපදෙස්:තද සුළං සහ වැසි: අවදානම් සහිත මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැක.
අදාළ මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල නිරතවීම ඉතා අවදානම් වේ.
උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, දැනට ඒ ආශ්රිතව සිටින යාත්රා වහාම ආරක්ෂිත ප්රදේශ කරා යොමු වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
ධීවර හා නාවික ප්රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියට නිකුත් කරන නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටී.




















































