
හබරාදූව පොලිස් වසමේ කොක්ගල ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී අද (25) දහවල් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ ළමුන් ගණන 10ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම දරුවන් ප්රතිකාර සඳහා කරාපිටිය හා උණවටුන රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක එම බස් රථයේ පසුපස කොටස ගැටී මෙම අනතුර සිදුව තිබුණි.
උපකාරක පන්ති ගුරුවරුන් හා දෙමාපියන් සමග මෙම ළමුන් කොට්ටාව ප්රදේශයේ සිට කොක්ගල පිහිටි මාටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, දෙමාපියන් 06 දෙනෙකු හා ළමුන් 41 දෙනෙකු බස් රථයේ සිට ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
බස් රථයේ සිටි දරුවන් අවුරුදු 14 හා 15 වයස්වල පසුවූ අය බව වාර්තාවේ.
අනතුර සිදුවූ දුම්රිය හරස් මාර්ගය ආරක්ෂිත ගේට්ටු නොමැති අතර, විදුලි ආලෝක සංඥා හා සීදුව ආධාරයෙන් පමණක් ක්රියාත්මක ස්ථානයක් බව සඳහන්.
එමෙන්ම අනතුර සම්බන්ධයෙන් වයස අවුරුදු 40ක් වන බස් රථ රියැදුරු හා අවුරුදු 21ක් වන කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත.
හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



















































