
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ප්රදානය කරන ලෙස ඉල්ලා සිදුකරන විරෝධතා හමුවේ, ශාසනික විනය හා භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය ආරක්ෂා කරගන්නා ලෙස ත්රෛනිකායික මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේලා සමස්ත මහා සංඝ රත්නය වෙත කාරුණික දැනුම්දීමක් කර තිබේ.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ධම්ම සිද්ධි ශ්රී පඤ්ඤානන්ද ඤාණරතන හිමි, ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රී මූර්ති හිමි සහ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්ය මකුලෑවේ ශ්රී විමල හිමි යන ත්රෛනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
එම නිවේදනයේ ප්රධාන කරුණු කිහිපයක් මෙසේය.
ගලගොඩඅත්තේ ඥනසාර හිමි සම්බන්ධ ගැටලුව නීත්යනුකූල හා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම සඳහා ත්රෛනිකායික මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේලා ලෙස දැනටමත් රජය වෙත අවශ්ය මැදිහත්වීම සිදුකර ඇති බව මහානායක හිමිවරු පෙන්වා දෙති.
වර්තමාන විරෝධතා පාදක කරගනිමින් දේශීය හා ජාත්යන්තර මට්ටමින් භික්ෂූන් වහන්සේගේ කීර්තිනාමය පළුදු කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොතැබිය යුතු බව එහි දැක්වේ.
කිනම් අර්බුදයක් හමුවේ වුවද ධර්මානුකූලව හා විනයානුකූලව එම ගැටලු නිරාකරණය කර ගනිමින් සංඝ සාමග්රිය ආරක්ෂා කිරීම මහා සංඝරත්නයේ පරම වගකීම වන බව අවධාරණය කර ඇත.
"අප්පසන්නානං වා පසාදය පසන්නානං වා භිය්යොභාවය" යන සම්බුද්ධෝපදේශය මත පිහිටා, මහජන ප්රසාදය තවදුරටත් වර්ධනය වන අයුරින් කටයුතු කරන ලෙස සියලු නිකාය පාර්ශ්වයන්හි මහා සංඝ රත්නයට මෙයින් සිහිපත් කර තිබේ.
එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.



















































