
බස්නාහිර පළාතේ පවතින පොදු හා පෞද්ගලික ළිං, වැව්, දියකඳුරු සහ අනෙකුත් භූගත ජල මූලාශ්ර කාර්යක්ෂමව ප්රයෝජනයට ගනිමින් ජනතාවගේ ජල අවශ්යතා සපුරාලීම සඳහා නව සැලැස්මක් සකස් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්රික්කවල පවතින විකල්ප ජල මූලාශ්ර හඳුනාගෙන ඒවා පානීය ජල අවශ්යතා, ගෘහස්ථ කටයුතු, කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ අනෙකුත් අවශ්යතා සඳහා විධිමත්ව යොදාගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෙත්සිරිපායේ පිහිටි නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්යාංශයේදී පැවැත්විණි.
ජලසම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතාගේ සහ අමාත්යාංශ ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අදාළ දිස්ත්රික්ක තුනේ මහ නගර සභා, නගර සභා සහ ප්රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන 53ක සභාපතිවරු සහභාගි වී තිබේ.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බස්නාහිර පළාතේ විශාල ප්රදේශයකට ජලය සපයනු ලබන නමුත්, එම ප්රදේශවල දැනටමත් පවතින බොහෝ ස්වාභාවික හා විකල්ප ජල මූලාශ්රවලින් ප්රමාණවත් ප්රයෝජනයක් නොගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.
මෙම වැඩපිළිවෙළේ ප්රධාන අරමුණ වන්නේ පවතින විකල්ප ජල මූලාශ්ර හඳුනාගෙන, ඒවායේ ජලයේ ගුණාත්මකභාවය සහ ධාරිතාව ඇගයීමෙන් අනතුරුව සුදුසු අවශ්යතා සඳහා යොදාගැනීමේ ක්රමවේදයක් සකස් කිරීමයි.
ඒ හරහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සපයනු ලබන පිරිපහදු කළ ජලය වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීමටත්, දැනට ප්රයෝජනයට නොගන්නා ජල මූලාශ්ර නිසි පරිදි භාවිතයට ගැනීමටත් අපේක්ෂා කෙරේ.
මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්රියාත්මක කිරීම තුළින් ජල සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීමටත්, කෘෂිකාර්මික හා කාර්මික අවශ්යතා සඳහා සුදුසු ජල මූලාශ්ර භාවිතය පුළුල් කිරීමටත්, බස්නාහිර පළාතේ ජල සම්පත් තිරසාරව කළමනාකරණය කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇත.



















































