
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියෙහි රඳවා සිටි සැකකරුවකු රෝහල්ගත කිරීමේදී මියයාමේ සිදුවීමක් වාර්තා වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසියේ දැඩි පහරදීම් හේතුවෙන් සැකකරු මියගොස් ඇති බවයි.
අද (25) උදෑසන සැකකරු බැලීම සඳහා ඥාතීන් පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී, පොලීසිය විසින් ඔහුට පහරදී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
පසුව ඥාතීන්ගේ දැඩි ඉල්ලීම මත සැකකරු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගත්තද, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව ඥාතීන් දැඩි ලෙස චෝදනා කරති.
මෙම එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ, වැටලීමක් අතරතුර හෝමාගම පොලීසියට රැගෙන ආ සැකකරුව හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්රාත් අධිකරණය මගින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මේ වන විට සූදානම් කර ඇත.
මීට අමතරව, සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා හෝමාගම සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්රධානත්වයෙන් විශේෂ මූලික පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.



















































