
බොලිවුඩ් සිනමා නළු ටයිගර් ෂ්රොෆ් ඉලක්ක කර සිදුවූ බව කියන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකරන විමර්ශන අංශ විසින් තවත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.
මෙම ප්රහාරය ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය සමඟ සම්බන්ධිත ප්රධානීන්ගේ සෘජු සම්බන්ධීකරණය යටතේ පෙර සැලසුම්සහගතව ක්රියාත්මක කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය (Lawrence Bishnoi Gang) යනු වර්තමානයේ ඉන්දියාවේ සහ ජාත්යන්තර මට්ටමින් ක්රියාත්මක වන ප්රබල සහ භයානක සංවිධානාත්මක අපරාධ කල්ලි ජාලයක් බව සඳහන් වේ.
ප්රහාරයට පෙර මෙන්ම ප්රහාරයෙන් පසුවද සැකකරුවන් තම ප්රධානීන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වී තොරතුරු හුවමාරු කරගෙන ඇත.
ඒ අනුව, වෙඩි තැබීම සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් තම ප්රධානීන් වෙත "මෙහෙයුම අවසන්" (Operation Completed) යැයි දන්වා පණිවිඩ යවා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම ප්රහාරය ක්රියාත්මක කිරීම සඳහා සැකකරුවන්ට අත්තිකාරම් ලෙස ඉන්දීය රුපියල් 50,000ක මුදලක් ලබාදී ඇති අතර, ප්රහාරය සාර්ථක වීමෙන් පසු තවත් විශාල මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇත.
ඉන්දීය මුම්බායි නගරයේ ජුහු (Juhu) ප්රදේශයේ පාපන්දු තරගයකින් පසු සිය රථයෙන් පිටව යමින් සිටි ටයිගර් ෂ්රොෆ් ඉලක්ක කර පෙරේදා (18) සන්ධ්යාවේදී මෙම වෙඩි තැබීම සිදුවිය.
මීට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු රාජස්ථාන්හි කෝටා ප්රදේශයේදී ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් තිදෙනා අවුරුදු 18ත් 22ත් අතර වයස්වල පුද්ගලයින් බව සඳහන් වේ.
මොවුන්ට එරෙහිව මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල වී තිබේ.
මුම්බායි පොලීසිය විසින් සැකකරුවන් මුම්බායි වෙත රැගෙනවිත් ඇති අතර, වෛද්ය පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




















































