
මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක, හෝමූස් සමුද්ර සන්ධිය හරහා දිවෙන මුහුදු පතුලේ අන්තර්ජාල කේබල් ඉලක්ක බවට පත්විය හැකි බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
ඉරාන පුවත් ඒජන්සියක් වන ෆාර්ස් (Fars) මෙය වාර්තා කර ඇත්තේ, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) නියෝජිතයෙකුගේ ප්කාශයක් උපුටා දක්වමිනි.
ඉදිරියේදී යළිත් යුදමය ගැටුමක් ඇතිවීමේ හැකියාව ඉරානය ප්රතික්ෂේප නොකරන බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පෙරට වඩා දැඩි ප්රතිචාරයක් දක්වන බවත් එම නියෝජිතයා සඳහන් කර ඇත.
“අපි යුද්ධයක් ඇතිවීමේ හැකියාව බැහැර කරන්නේ නැහැ. මෙවර අපගේ ප්රතිචාරය වඩාත් දැඩි වනු ඇති. එක්සත් ජනපදයට බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති අතර, ලෝකය ද දැඩි බලශක්ති අර්බුදයකට මුහුණදෙනු ඇත,” යනුවෙන් ඔහු පවසා තිබේ.
අනාගත ගැටුමකදී විවිධ වර්ගයේ අවි පද්ධති භාවිත කිරීමටත්, නව ඉලක්ක හඳුනාගෙන ඒවාට ප්රහාර එල්ල කිරීමටත් ඉරානයට හැකියාව ඇති බවද ඔහු ප්රකාශ කර ඇත.
හෝමූස් සමුද්ර සන්ධිය හරහා ප්රධාන මුහුදු පතුලේ කේබල් හතක් දිවෙන බවත්, ගෝලීය අන්තර්ජාල සම්බන්ධතා සහ වාණිජ දත්ත හුවමාරුව සඳහා ඒවා වැදගත් වන බවත් එම නියෝජිතයා අවධාරණය කර තිබේ.
එම කේබල් ඉලක්ක කරගැනීමේ හැකියාව පිළිබඳව ප්රතිවාදී පාර්ශ්වයට සිහිපත් කරන බවද ඔහු සඳහන් කර ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ආතතිය හමුවේ ඉරානයේ මෙම ප්රකාශය ජාත්යන්තර බලශක්ති සැපයුමට මෙන්ම ගෝලීය සන්නිවේදන ජාලවල ආරක්ෂාවටද අවධානය යොමු කර තිබේ.



















































