
අපවත්වී වදාළ පූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහය සහිතව හෙට (21)පස්වරුවේ ගැටඹේ ක්රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.
ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ගැටඹේ රාජෝපවනාරාමාධිපති අපවත්වී වදාළ පූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ දේහය මේ වනවිට රාජෝපවනාරාමයේ තැන්පත් කර තිබේ.
කලක් රෝගාතුරුව සිටි උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඉකුත් 18 දින අපවත්වූහ.
අපවත් වනවිට 96 වැනි වියෙහි පසුවූ අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ, ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය උදෙසාත්, සංස්කෘතික අභිවෘද්ධිය උදෙසාත් සුවිශාල මෙහෙවරක් ඉටුකළ යතිවරයාණන් වහන්සේනමකි.
එමෙන්ම ජාතික හා ආගමික වශයෙන් වැදගත් වූ විවිධ අවස්ථාවන්හිදී රටත් ආගමත් වෙනුවෙන් අභීතව හඬ නැගූ යතිවරයාණන් වහන්සේනමක් ලෙසද උන්වහන්සේ ගෞරවාදරයට පාත්ර වූහ.





















































