
මිහින්තලය මිහිඳු මහ සෑ රදුන්ගේ කොත් වහන්සේ නිරාවරණ පූජෝත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ තායිලන්තයේ නියෝජ්ය අගමැතිනි සුපජී සුතුම්පුන් මහත්මියගේ ශ්රී ලංකා සංචාරය සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක් බව විදේශ අමාත්යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්යාංශයේ ප්රකාශක සහ මහජන රාජ්ය තාන්ත්රික අංශයේ අධ්යක්ෂ ජෙනරාල්වරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
තායිලන්ත පාර්ශ්වයේ ඉල්ලීම පරිදි ශ්රී ලංකා රජය විසින් අදාළ පෞද්ගලික සංචාරය සඳහා සුදුසු දූත පිරිස් ආචාරධර්ම සහ නිසි රාජ්යතාන්ත්රික අනුග්රහයන් පමණක් ලබා දී ඇති බව අමාත්යාංශය අවධාරණය කරයි.
බෞද්ධ බැතිමතුන් පිරිසක් සමඟ එක්ව මිහින්තලේ රජමහා විහාරයේ පැවති පූජෝත්සවයක් සහ ධාතු තැන්පත් කිරීමේ ආගමික උත්සවය සඳහා සහභාගී වීම මෙහිදී සිදුව ඇත.
ඒ අනුව, මෙම සංචාරය ඉහත සඳහන් ආගමික උත්සවයට පමණක් සීමා වූ පෞද්ගලික එකක් වන බැවින්, ඇයගේ දූත පිරිස තුළ වෙනත් නිලධාරීන් කිසිවෙකු ඇතුළත් වී නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ.
තායිලන්ත තානාපති කාර්යාලයේ ඉල්ලීම මත වී.අයි.පී. (VIP) විවේකාගාර පහසුකම් සහ ඊට අදාළ මූලික ආචාරධර්ම පමණක් ශ්රී ලංකා පාර්ශ්වය විසින් පිරිනමා ඇත.
ඇය මීට පෙර අවස්ථාවලදීද මෙවැනි ආගමික කටයුතු සඳහා පෞද්ගලික මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.




















































