
ගලේවෙල සහ ත්රිකුණාමලය ප්රදේශවලදී සිදු වූ බස් රථ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ඉබ්බන්කටුව ප්රදේශයේදී ඊයේ (17) රාත්රියේ දී මාරක අනතුරක් සිදුව ඇත.
කුරුණෑගල දෙසට ගමන් කළ පාපැදියක් දකුණට හැරවීමට යාමේදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ප්රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එමෙන්ම ඊයේ (17) පස්වරුවේ ත්රිකුණාමලය බස් නැවතුම්පල අසලදී ද තවත් බස් රථ අනතුරක් සිදුව තිබේ.
කල්මුණේ සිට ත්රිකුණාමලය දෙසට ධාවනය වූ බස් රථයක් මගීන් බස්සවා හැරවීමට යාමේදී, බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පදිකයා ත්රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ත්රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



















































